නිමිත්ත!
මිහිරෙන් මතකයේ ඇඳේ...
ඒ රසේ රැදේ මා සිතේ...
සොඳුරු මතක සිත පිරේ...
නව යොවුන්,තරුණ හා තරුණ සමයේ සැඳෑ භාගයේ ඉන්න උදවියට මේ වෙළද දැන්වීම ගැන අටුවා ටිකා අවැසි නැති බව මං දන්නවා..කාලයක් අපේ සිත් පුදුම විදිහට කිති කවපු මේ වෙළඳ දැන්වීම පහුගිය දවසක මට අහම්බෙන් දකින්න ලැබුනා..
ඒක බලපු වෙලාවේ මගෙ හිත කාලෙකින්...සෑහෙන්න කාලෙකින් වචනයෙන් කියාගන්න බැරි නොස්ටැල්ජියාවකින් එහෙම නැත්නම් අතීත කාමයකින් වෙලිලා ගියා..ඒ අතීත කාමයෙන් වෙලුනු මගේ සිතේ ඇතිවුන ඉයුපෝරියාව එහෙම නැත්නම් අල්ලාසය/හැඟීම මටත් අකුරු කරන්නට හිතුනා..
අපි හැමෝටම අවුරුද්ද එක්ක බැඳිච්ච ලස්සන මතක සිතුවිලි ඇති!
මේ තියෙන්න මගේ කතාව!
මගේ තාත්තා මාතර.මගේ අම්ම අලුත්ගම..මං හැදුනේ වැඩුනේ අලුත්ගම!නිවාඩු කාලෙ තමයි ආච්චිලව බලන්න යන්නේ!
මගේ තාත්තට නංගිලා දෙන්නයි අක්කයි මල්ලියි! එක නංගිකෙනෙක් නැවතිලා හිටියේ මහ ගෙදරට අල්ලපු වැටේ ගෙයක! ලොකු නැන්දා තමයි ආච්චිත් එක්ක මහ ගෙදර හිටියේ! ලොකු නැන්දට කොල්ලො දෙන්නයි! ලොකු අයියයි පොඩි අයියයි කියල තමා හැමෝම ඒ දෙන්නට කතා කලේ!පොඩි නැන්දට හිටියා කොල්ලො 5 දෙනෙක්.බාප්පට එක කොල්ලෙක්.අනිත් පොඩි නැන්දට කොල්ලො දෙන්නෙක්.මායි මල්ලියි..කෙලින්ම ක්‍රිකට් ටීම් එකකකට කට්ටිය ඉන්නවා...
ඉස්සර අපි නිවාඩුවට ඇඟිලි ගැන ගැන ඉන්නෙමාතර යන්න..ඒ අතරිනුත් අවුරුදු නිවාඩුව විශේශ උනේ ඇයිද කියන්න මං දන්නේ නෑ!
මුල්ම දවස් වල නම් අපි ගෙදර හැමෝම අවුරුද්දට මහ ගෙදර එකතු වෙනවා..ඒහෙම යන ඕන උනාම අපි අලුත්ගමින් කෝච්චියේ නැගලා තමයි යන්නේ..ඒ දවස්වල මං කෝච්චි වලට හරිම මනාපයි..ඉස්සල සෙල්ලම් බඩුවක් ගත්තත් ඒක ගොඩක් වෙලාවට කෝච්චි සෙට් එකක්..
ඈත එන කෝච්චිය දිහා මං තාත්තගේ අතේ එල්ලිලා බලං ඉන්න හැටිත්, ඇංජිම අපිව පහුකරන් යද්දි මගේ මුලු පපුවම ගැස්සෙන හැටිත් මට අද වාගෙම මතකයි..ගාල්ලෙදි ඇංජිම ගලවල ඉස්සරහට ගෙනිහින් හයි කරන හැටි,අපි ආපස්සට යනවා කියලා තාත්තා කියලා අපිව භය කරන හැටිත්,අපි භය වෙනවා බලං ඉඳලා අම්මයි තාත්තයි හිනා වෙන හැටි තාමත් ඇස් දෙක වැහුවම මතක් වෙනවා.
පස්සෙ පස්සෙ තාත්තට වැඩ වැඩිවෙන්න ගත්තා..අම්මත් තාත්තා එක්ක නැවතුනා ඒ වැඩ වලට උදව් කරන්න.එහෙම උනා කියලා අපේ මාතර ගමන නැවතුනේ නෑ! අර කොළඹ ඉන්න පුන්චි නැන්දා මාතර යන ගමන් අපිවත් ඒ වෑන් එකේ දාගෙන යනවා..එහෙම නැතිනම් තාත්තා අපිව අලුත්ගමින් කෝච්චියේ දානවා.බාප්පා මාතර ඉස්ටේශමට ඇවිත් ඉන්නවා අපිව ගන්න..මාතර අන්තිම ඉස්ටේශම නිසා අපිව එහෙම යවන්න එච්චර භයක් තිබ්බෙ නෑ! ඒත අද කාලේ වගේ හෑන්ඩ් පෝන්, ඇස් ඇම් ඇස් තිබුනේ නැති නිසා අපි මහ ගෙදරට සේන්දු උනා කියලා එහෙන් පෝන් කරල කියනකං අපේ අම්මා නං ටිකක් කලබලෙන් තමයි තමයි ඉන්නෙ!ඒ තමයි අම්මලගේ හැටි!පස්සෙ පස්සෙ හිතුන ගමන් බස් එකේ නැගලා මාතර යන කාලෙකුත් ආවා..ඒ අපි ලොකු උනාට පස්සෙ.
අපි ආව කියලා දැන ගත්තු ගමන් එහ ගෙදර ඉන්න උන් ටිකත් දුවගෙන එනවා..ඊට පස්සෙ ඉතින් අපේ ලෝකේ සෙල්ලම ඇරෙන්න වෙන කිසිම දෙයක් නෑ..ලොකු නැන්දාට නිවනක් නෑ..ඇයි ඉතින් කොල්ලො 10ක් ඉන්න කොට එතනින් පොඩ්ඩක් ඇහැ ගත්තත් ඇති නොවැ මොනා හරි විජ්ජුම්බරයක් වෙන්න..ගොඩක් වෙලාවට අපි කලේ උදේ ඉදන් කිරිකට් ගහන එක..උදේ පටන් ගත්තම 11ට විතර නවත්තනවා තේ බොන්න..උගුරට දෙකට බීලා ඉවර වෙලා ආයි නවත්තපු තැනින් පටන් ගන්නවා සෙල්ලම..
අපේ මහ ගෙවල් තිබුනේ හව්සින් ඉස්කීම් එහෙක.මේ කොනේ ඉදන් බැලුවම එහා කොන පේන්නෙ නැතිවෙනකං කෙලින් පාර පැදුරක් දැම්මා වගේ..එච්චර වාහන යන්නෙත් නැති නිසා පාර මැද ලෑල්ලක් හිටවලා පාරේ තමයි සෙල්ලම..වාහනයක් යන වෙලාවට අයින්ට වෙලා ඉඩ දෙනවා..කලුවර වැටුන ගමන් කරන්නේ කැරම් ගහන එක.ලොකු අයියලගේ තාත්තා කැරම් බෝඩ් එකක් හදවලා තිබ්බා..ඒක මං ගිය පාර ගිය වෙලෙත් තිබ්බා! කැරම් කෙලිය අතර තමයි උදේ ඉඳන් අල්ලපු ගෙවල් වලින් එකතු වෙච්ච කැවිලි වලට ගේම දෙන්නේ..කැරම් ගහන උන් ඇරුනාම අනිත් උන් ටික ටික වෙලාවකින්න් ඕමි බලනන්න ගන්නවා.ඒක නං හරි කම්මැලි වැඩක්..
ඔය අස්සෙ කොහොමින් කොහොම හරි බලෙන්ම වාගේ අපිව නිදි කරවනවා..අපේ මහ ගෙවල් එච්චර ලොකු නෑ! මගේ සීයා විදුහල්පති කෙනෙක්..ඒ නිසා පහල මධ්‍යම පාංතික පවුල් වපසරියක් තමයි එහේ තිබුනෙ..සාලේ සැට් සැට් එකයි කනප්පුවයි අයින් කරලා දිග පැදුරක් දාලා තමයි අපිව නිදි කරවන්නේ..චූ කරගන්න උන්ව රබර් එකක් දාලා වෙනම නිදි කරවනවා..උදේට නැගිටලා බලද්දි එහා පැත්තේ නිදා ගත්තු එකා මෙහා පැත්තෙ..
ඊගාව දවසේ උදේ ඉදන් අපේ ප්ලෑන් පොල්හේනෙ ගිහින් මුහුදේ නාන්නා..මුලින් මුලින් නම් අපි ගියේ නිමල් අයියගේ බක්කියේ.මාතර තිබුන අන්තිම බක්කි දෙකෙන් එකක් ඒක.ඉස්කූල් වෑන් හොඳටම ප්‍රසිද්ද වුනාට පස්සෙත් අරුන්ගෙන දෙතුන් දෙනෙක් රාහුලට ගියේ බක්කි සර්විස් එකේ..නිමල් අයියා මැරුනට පස්සෙ ත්‍රීවිල් එහෙක උන් ඉස්කොලෙ ගියා..අපේ බක්කි ගමනත් නැවතුනා...(ඔය පිංතුරේ ඉන්නෙ නිමල් අයිය එයාගේ බක්කිය එක්ක )
පස්සෙ පස්සෙ බාප්පගේ වෑන් එකෙත්,ටිකක් ලොකු උනාට පස්සෙ පුස් බයිසිකල් වලත් තමයි පොල්හේන් ගියෙ!
පැය දෙක තුනක් මුහුදෙ නාල ආවම තියන බඩ ගින්න ගැන මුහුදක නාල තියෙන එහෙකුට කියන්න ඕන නැහැ අමුතුවෙන්..ඒ එද්දි ආච්චියි ලොකු නැන්දයි උයල තියන කෑම එක දිව්‍ය භෝජනයකට දෙවෙනි නොවෙන එකක් කියලයි මට හිතෙන්නේ! මාලු ඇඹුල් තියල්,පරිප්පු,කොල මැල්ලුමක්/සලාදයක් එක්ක රතු බත්..අතුරු පසට කිරි පැනි..මං රතු බත් කන්න ආස නැති නිසා මට වෙනම සුදු බත් හදලා තියනවා ඉස්සර ඉදන්ම..තාමත් එහෙමයි.
කෑවට පස්සෙ දපනේ දාලා ආයි කට්ටිය වැටිච්ච වැටිච්ච තැන් වල බුදි.ආයි හවසට සෙල්ලම.....ටික ටික ලොකු වෙද්දි ලොකු අයිය එහෙම සෙල්ලමට වැඩිය ආවෙ නෑ! ඌගෙ පංති එන කෙල්ලො ඒ පාර දිගේ එහෙ මෙහෙ යන නිසා ඌට නෝන්ඩියිලු අපි එක්ක සෙල්ලම් කරන්න..සමහර දවස් වලට හවසට බාප්පා නැත්නම් තාත්තා අපිව හවසට වාහනේ දාන් අරං යනවා බීච් එකට..ගිහින් සෙල්ලම් කරලා මයුර බේකරියට අරං ගිහින් කන්න අරං දෙනවා..ඒ එන ගමන් සනත් ජයසූරියගේ ගෙවල් ඉස්සරහා නවත්තලා හැමදාම පෙන්නනවා...අපිත් බෙල්ල උලුක්කු වෙනකන් එබිලා එබිලා බලනවා මිනිහා මිදුලේ ඇති කියලා හිතාගෙන. මහ ගෙවල් මාතර උනාට සනත් ඉන්නෙ කොළඹ කියලා ඇයි තාත්තලා දැන දැනත් ඒ කාලෙ කිව්වෙ නැත්තෙ?
ඔහොම ලස්සනට ගෙවුන අපේ මාතර නිවාඩුව කාලයත් එක්ක ටික ටික වෙනස් උනා..හවස් වුනාම කෙල්ලො බලන්න යන එක, බයිසිකලෙන් රස්තියාදු ගහන එක බාප්පගේ කඩේ වැඩ වලට උදව් වෙන එක ලිස්ට් එකට එකතු උනා..
ටික ටික කාලයා කියන ඒ නපුරු සතා ගොඩක් දේවල් වෙනස් කරන්න ගත්තා..ලොකු අයියලා වැඩි පුර ඉගෙන ගන්න කොළඹ ගියා..ඒත් නිවාඩුවට අපි කොහොම කොහොම හරි සෙට් උනා..ඒත් දැන් නම් ඒ කාලේ මතකයන්,මතකයන්ම විතරයි..
ලොකු අයියා බැන්දා.පස්සෙ පොඩි අයියත් බැන්දා..දැන් උන් දෙන්නටම ළමයි ඉන්නවා..ගොඩක් පොඩි තාම..ඒ නිසා ඉස්සර වගේ උන්ට අපි එක්ක කෙල්ලො බලන්න එන්න බැරි උනා!මං මෙහෙ ආවා..ආච්චි නැති උනාට පස්සෙ ලොකු නැන්දා මහ ගේ විකුනලා කොළඹින් ගෙයක් ගත්තා.
අනිත් උනුත් එක එකා එක එක ජොබ් කරන්න ගත්තා..
ඒත් තාමත් මං ලංකාවට ගියාම පොඩි අයියගේ කාර් එකේ නැගලා අපි පුලු පුලුවන් විදියට මාතර යනවා පොඩි නැන්දලා දිහා!
ඒ ගිය වෙලාවට හිනා වෙනවා කතා කරනවා පිස්සු කෙලිනවා...ඒත්..සමහර දේවල් වල හිඩැස්, ඒ හැඟීම් වල හිඟය වෙන කවමදාටත් වඩා තදින් ඒ වෙලාවට අපිට දැනෙනවා!
මේ වෙළද දැන්වීම සෑහෙන්න දුර මාව ගෙනියනවා...
ඒක තමයි මගේ කතාව......ඉතින් ඔහෙලට කොහොමෙයි?අවුරුදු ජයෙයි? මක්කෙයි කරන්නෙ අවුරුදු නිවාඩුවට? :)
එහෙනම් හැමෝටම ශ්‍රී සුභ නව වසරක් වේවා! ඔබේ සියලු යහපත් පැතුම් ඉටුවේවා!
ගිය දුර! සුබ අලුත් අවුරුද්දක් වේවා.
ReplyDeleteසෑහෙන ලොකු මතකයක් අවදි වෙලා..
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් යාළුවා.
සුභ නව වසරක් වේවා
ReplyDeleteඅලුත්ගම කිව්වෙ.... කලුතරට එහා තියන එකද?
ඒකාලේ කොහෙද බන් දැන් හැම දේම වෙනස් වෙලා ....
ReplyDeleteමිනිස්සු යාන්ත්‍රික වෙලා ...
කොහොම උනත් එසේම වේවා කියන එක නම් ඉතුරු වෙයි :DDDD
බලාගෙන ගියාම මූ ගොයිගම තම්බියෙක්නේ...
ReplyDeleteසුබ නව වසරක් වේවා තම්බි....!!!
ලස්සන මතකයක්, ලස්සනට ඉදිරිපත් කරලා තියනවා.. හැමෝටම ඔය වගේ මතකයන් ඇති.. ඇත්තෙන්ම අතීතය හැමදාම වර්තමානයට වඩා සුන්දර ඇයි කියලා මට හිතාගන්ඩ බෑ.. අතීතයේදී මුහුණ දෙනකොට අමාරුවෙන් මුහුණ දුන්නු අත්දැකීම් පවා වර්තමානයේ සිහි කරද්දි කොච්චර ලස්සනද කියලා හිතෙනවා.
ReplyDeleteසාබිත් ටත් සුබම සුබ නව වසරක් වේවා !!!
බක්කි කරත්තෙ දැක්කාම ආයෙමත් අතීත කාලෙට ගියා..අපේ ගෙදරත් ඕව දෙකක් තිබ්බනෙ සීයගෙ...සුභ අලුත් අවුරුද්දක් වේවා සබිත්..!!
ReplyDeleteස්තුතියි කස්ටියටම~
ReplyDeleteඅලියා : යේස් යේස්! ඒ අලුත්ගම තමා~!
වැපා : හැබෑව හැබෑව..සරලව ජීවත් වෙන එකත් ලේසි නැහැ නොවැ!
මාතලන් නානා : නැතුව නැතුව...ඇයි අයියා ෂෙකද.? :D
සෑාහන දුරකට සිතුවිලි අරන් අතිතයට ගියා. දැන් කාලයත් එක්ක අපි හැමෝටම ඉතුරුවෙලා තියෙන්නේ ඒ ලස්සනම අතීත මතකය විතරයි.
ReplyDeleteදැන් අවුරුද්ද අලුත්වෙලා , වෙනස්වෙලා
සබිත්ටත් සුබ අලුත් අවුරුද්දක්ම වේවා.
සුභ අලුත් අවුරුද්දක් වේවා සබිත්..මචා!!
ReplyDeleteසෑහෙන ලස්සන අතීතයක් වගේ......සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමාටත්.....!!
ReplyDeleteලස්සන අතීත කථාවක්නේ. සුබ අළුත් අවුරුද්දක් වේවා මචන්!
ReplyDeleteසිරාවට ලියලා තියෙනවා මචං.ඔන්න එහෙනං උඹලටත් අවුරුදු ඈ.....
ReplyDeleteමාරයි සාබිත්. ඇත්තම කිව්වොත් ඔය nostalgia කියන වචනෙට සිංහල වචනෙ මොකක්ද කියලා මම මුලදි කල්පනා කලා. පස්සෙ සාංකාව කියන වචනෙට සෙට්ල් වුනා. ඔන්න සාබිත් අලුත්ම වචනයක් දීලා අතීත කාමය කියලා. යුෆෝරියාවටත් වචනයක් දීලා තියෙන්නෙ අල්ලාසය කියලා. කොහෙන්ද බං මේ වචන හොයා ගන්නෙ?
ReplyDeletehenryblogwalker the Dude
කාලය මැව් වෙනසක අරුමේ!
ReplyDeleteඅපේ පුංචි අම්මා විවාහ වෙලා ඉන්න බාප්පාගේ මහ ගෙවල් මාතර නූපෙ.. අපිත් නිතරම යනවා එහේ... එහේ හිටියා ලොකු රාජු, පොඩි රාජු, ලොකු මංජු, පොඩි මංජු, බඩා ආදී සෙට් එකක්... අපේ වැඩෙත් ක්‍රිකට් ගහන එකයි පොල්හේනෙ නාන එකයි තමයි...
ReplyDeleteනිවුඩු කාලෙ ඉවර වෙලා ගෙදර එනතොට ගෙදරින් ගිය එකා නෙවෙයි එන්නෙ... කළුම කළු වැද්දෙක් වගේ එකෙක්...
මම හැදුනෙ අඩුම ගානෙ සති දෙකකට වතාවක් වත් මුහුදෙ නාන්න ඕන පසුබිමක...
මෙහේ ආවට පස්සෙ දැනුන ලොකුම අඩුව තමයි නිල් පාට වතුර තියෙන සුදු පාට වැල්ලක් තියෙන උණුසුම් මුහුදක්....
ඒවා තියෙන පලාතකට යන්න මම හැමදාම හීන මවනවා....
මේ කතාවෙ මමත් ඉන්නවා වගේ මට හිතුනා...
සුබ අළුත් අවුරුද්දක් සාබිත්..
දිගටම ලියන්න ශක්තිය ලැබේවා.
ඇල්
ඇල් : ගෙදර ඉන්න දවස් වල සතියට දවසක් අනිවාර්‍ය්යෙන් මුහුදෙ නානවා! බෙන්තරට ඇවිදින දුර නොවැ!මෙහෙ මටත් මුහුදක් හොයාගන්න කිලෝමීටර එකසිය පනහක් විතර යන්න ඕන!
ReplyDeleteDude : හික්ස්! අතීත කාමය කියන වචනේ මං පොත් පත් වල කියවලා තියනවා...euphoria කියන එකට වචනයක් මටත් ඔලුවට ආවේ නෑ!මලලසේකර අංකල්ගේ පිහිට පතලා තමයි හොයා ගත්තේ!
අම්බෝ ගියපු දුරක්..අපේ අම්මගේ ගමත් මාතර..මාත් ඉස්සර පට්ටම ආසයි බක්කි කරත්තෙන් ගමන් යන්න..දැන් ගමේ ගියාම බෙහෙතකටවත් බක්කි කරත්තයක් හොයාගන්න නැහැ..
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා.
ReplyDeleteමං හිතුවේ උඹට අවුරුදු නෑ කියලා... ඒත් ඒක එහෙම නෙවෙයිනේ..!
ReplyDeleteසාබිත්, වහින වෙලාවට බක්කියේ ගිහිං නැද්ද? අන්න ෆන් එක...
අලුත් වචන දෙකක් ඉගෙන ගත්තා. අතීත කාමය සහ විජ්ජුම්බරේ....මමත් පොල් හේනේ ගිහින් මූදේ නාලා තියනවා...:D
ReplyDeleteමේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!
ReplyDeleteමාලුවා : දවසක් සෙට් වෙන්න ඇති බං..ඒත් එහෙමටම මතකයක් නෑ!අපි නාන්න යන්න හිතුවොත් එදාට වහිනවා :) උඹට කොහෙද බක්කියේ යන්නේ වැස්සේ? :D
ReplyDeletechamma,පොඩී, තරූ.වර්ණා හැමෝටම ස්තුතියි!
මේ සටහන දැකලා මමත් හිතින් අතීතයට ගියා..
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා මහත්මයා! :)
ReplyDeleteඅලුත්ගම කිව්වෙ කලුතර පැත්තෙ අලුත්ගම ද? අපේ අම්මල මතුගම! :) :) :)
යේස් යේස්. ඒ අලුත්ගමම තමා! :)
Delete