Thursday, May 16, 2013

විමසුම: මත්තල කොයිබටද?



     මාස දෙකකට පසුවයි ලිපියක් ලියා පල කරන්නට තීරණය කලේ. සාමාන්‍යයෙන් මාසෙකට එක ලිපියක්වත් ලියා පල කරන්නට මා පසුගිය වසර කිහිපය තුලම උත්සහ කලත් ඉදිරියට එසේ සිදුවන එකක් නැහැ. අධ්‍යාපන කටයුතුත් සමග දැන් දැන් බ්ලොග් කියවෙන්නෙත් බොහොම අඩුවෙන්. නමුත් පසුගිය මාස දෙකක කාලය තුල කිසිවක් ලියන්න නොහැකි වූයේ කාර්‍යබහුල බව නිසාවත් ලියන්නට කිසිවක් නොමැති නිසාවත් නොවෙයි. මව් රටේ සිදුවෙන කියන කරන දෑ පිලිබඳව වූ බලවත් අප්පිරියාව සහ කනස්සල්ල නිසයි.
කොච්චර ලිව්වත් මේ තියෙන සිස්ට්ම් එක තුල කිසිම වෙනසක් සිදු නොවෙන බව/ කිසිම වෙනසක් අපිට කරන්න බැරි බව හැඟෙද්දි ලියන එක කොහොමත් වැඩක් නෑ කියන සිතුවිල්ලක්  ඇති වෙනවා.
ඒත් පස්සෙ,  වතුර බිංදුවකින් තමයි මහ සාගරය ඇතිවෙන්නෙ, එක ඉටි පහනකින් පහන් සීයක් දල්වන්න පුලුවන් කියලා හිතද්දී, හිත තුල කැකෑරෙන මේ ආවේගය මුදාහරින්න විදියක් හොයද්දි ලියනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ.
ඇරත් අපේ කොටස රට වෙනුවෙන් අපි ඉටු කරන්න ඕන කියන මතයෙයි මං ඉන්නේ.කවද හරි අපේ පොඩි උන් හරි උන්ගේ පොඩි උන් හරි ' ඔයාලා මේ රටට මෙච්චර දෙයක් වෙනකං මොනවද ඒ දවස්වල කලේ?' කියලා අහද්දි දෙන්න උත්තර මං ලඟ තියෙන්න ඕන.

 නිමිත්ත : Air Arabia ගුවන් සමාගම මත්තලට සිදුකල ගුවන් ගමන් නවතා දැමීමට තීරණය කිරීම.


     ඩුබායි සිට ක්‍රියාත්මක වන ලොව ප්‍රමුඛ පෙලේ ගුවන් සමාගමක් වන එයා ඇරේබියා ගුවන් සමාගම මත්තලට සිදුකල තම මෙහෙයුම් කටයුතු නවතා දැමීමට තීරණය කල බව Airline route වෙබ් අඩවිය පසුගියදා වාර්තා කලා. මේ වන විට එම ගුවන් සමාගමේ වෙබ් අඩවිය තුලින් මත්තලට ආසන වෙන් කිරීමට පහසුකම් ඉවත් කර තිබෙනවා. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට මේ දක්වා පියාසර කලේ ජාත්‍යන්තර ගුවන් සමාගම් දෙකක් පමනයි.(ලාංකීය නොවන) ඒ ඉහත සඳහන් කල ගුවන් සමාගම සහ Fly Dubai ගුවන් සේවය පමනයි. මීට අමතරව මිහින් සහ ශ්‍රී ලංකන් යන ගුවන් සමාගම් දෙකත් මත්තල හරහා තම ගුවන් ගමන් සිදුකලා. විවෘත කර මාස දෙකකට ආසන්න කාලයක් ගතවුවත් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල හරහා ලංකාවට ඇතුල් වූ මගීන් සංඛ්‍යාව 70කටත් අඩු බව නිල නොවන සංඛ්‍යා ලේඛන තහවුරු කරනවා.
මේ මත්තල පිලිබඳව කෙරෙන කෙටි විපරම් කිරීමක්!

ශ්‍රී ලංකාවට දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපලක අවශ්‍යතාව!

     ශ්‍රී ලංකාව වර්ග කිලෝමීටර 65000 ක පමන වපසරියකින් යුතු රටක්. මේ වගේ රටකට මේ වගේ වකවානුවක් තුලදී දෙවන අන්තර්ජාතික ගුවන් තොටුපලක් අවශ්‍යද? කියන ප්‍රශ්නෙ මුලින්ම මතු වෙනවා. පවතින ගුවන් තදබදය (air traffic) සහ ගුවන් මගී තදබදය කියන කරුනු සලකා බැලුවම ලංකාවේ 'යුගයේ අවශ්‍යතාව' දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපලක් නොවන බව පැහැදිලිව පෙනෙන කරුනක්. ඊට වඩා දැවෙන ප්‍රශ්ණ/අවධානය යොමු විය යුතු ප්‍රශ්න මේ මොහොතේ රට හමුවේ තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.
     යුද්ධය අවසානයත් සමග නව ගුවන් සමාගම් ( බොහොමයක් යුධ සමයේ ගුවන් ගමන් නවතා දැමූ සමාගම්) ලංකාවට නැවත ගමන් අරඹා ඇති බව සත්‍යක්. ඒ වගේම සංචාරක කර්මාන්තයේ දියුණුවත් සමගම පැමිනෙන මගීන් සංඛ්‍යාවේ වැඩිවීමක් තිබෙන බවටත් අප පිලිගත යුතුයි.
නමුත් මේ ප්‍රශ්ණ වලට විසඳුම දෙවන ගුවන් තොටුපලක් නොවෙයි. කලයුතුව තිබුනේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල සංවර්ධනය කිරීමයි.
වර්තමානයේ කටුනායක ගුවන් තොටුපලේ තත්ත්වය අපි හිතන තරම් සුන්දර නැහැ. අනෙක් දකුණු ආසියාතික රටවල් එක්ක සසඳා බැලූ කල්හි උසස් තත්ත්වයෙන් තිබුනත් පැහැදිලිවම 'වහාම සංවර්ධනය' කලයුතු තැනක තිබෙන බව කිව යුතුයි. විශේෂයෙන් ලෝකයේ දැන් දැන් නිශ්පාදනය කරන විශාල ගුවන් යානා ගොඩ බෑමේ හැකියාවක් සහ ඒවාට පහසුකම් සැලසීමේ හැකියාවක් කටුනායකට නැහැ. (එක වරක් හදිසි තත්ත්වයක් මත A380 යානයක් ගොඩ බෑ බවත් ඒ ගොඩ බෑවෙත් සම්මත තත්ත්ව යටතේ නොවන බවත් කරුණාවෙන් සලකන්න). එම නිසා ධාවන පථයේ පටන් මගී පර්යන්ත දක්වා සෑහෙන්න වපසරියක පුලුල් සංවර්ධනයක් කටුනායකට අවශ්‍යයි.  එක රටක සිට තවත් රටකට යාමේදී ගුවන් යානා මාරුවීම සඳහා බලාපොර්තුවෙන් සිටින මගීන්ට (transit passengers) ඇති පහසුකම් උනත් ඉතාම අවමයි. 
ඒ නිසා කටුනායක සංවර්ධනය කිරීම තුලින් ගුවන් තදබදය සහ මගී තදබදය කියන ප්‍රශ්ණ වලට ලෙහෙසියෙන් විසඳුම් සොයා ගැනීමට තිබු බවයි මගේ හැඟීම.

     අනෙක් කාරනය විදිහට දක්වන්නේ ය  ලංකාවට පැමිනීමට නියමිත යානා වලට කිසි හදිසි තත්ත්වයකදී විකල්ප ගුවන් තොටුපලක් ලෙස ලබාදී ඇති Thiruvanathpuram (TRV)   සදහා යාමට අමතර ඉන්ධන ටොන් 2ක් පමන ගබඩා කරගෙන පියාසර කල යුතුව තිබුනත් දැන් මත්තල නිසා අමතට ඉන්ධන වෙනුවට ඒ බරට සමාන බරකින් යුතු ගුවන් බඩු භාන්ඩ ( cargo) ගෙන යා හැකි නිසා අමතර ලාභයක් ලැබිමට ගුවන් සමාගම් වලට හැකි බවත්. මෙතනදි  risk-benefit ratio එක දිහා බැලුවහොත් මේ ලාභය සඳහා මේ තරම් ධනස්කන්දයක් වියදම් කිරීම නිෂ්ඵල දෙයක්.


දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපලක් අවශ්‍ය යැයි උපකල්පනය කලහොත් ඊට සුදුසුම ස්ථානය මත්තලද?

පිලිතුර පැහැදිලිවම නැත...
ඇයි?
     දක්ශින ලංකා අධිවේගී මාර්ගය ගැන මදකට ඔබගේ අවධානය යොමු කරන්න. දැනටමත් කොට්ටාව-ගාල්ල දක්වා වූ කොටස විවෘතව පවතී. කොලඹ- කටුනායක දක්වා වූ කොටස මේ වසර අවසාන වන්නට පෙර  විවෘත කිරීමේ සූදානමක් ඇති බව පුවත් පත් වාර්තාවල පල වුනා. ඒ වගේම ගාල්ල පින්නදූව- මාතර ගොඩගම  දක්වා වු කොටසේත් ඉදි කිරීම් බොහෝ දුරට අවසානයි. මාතරින් එහා හම්බන්තොට දක්වා වූ මහා මාර්ගයේ තත්තවය ඊට නොදෙවෙනි බව ලඟකදී ඒ පැත්තේ ගිය අය දන්නවා ඇති. ඒ නිසා මේවායේ වැඩ අවසන් වූ වහාම ලබන වසර අවසානය වෙද්දි හම්බන්තොට හෝ ඒ ආශ්‍රිතව ජීවත් වෙන කෙනෙකුට වැඩිම වුවහොත් පැය 3ක් ඇතුලට හම්බන්තොටට ලඟාවීමට හැකියාව ලැබෙනවා.
නමුත් ලංකාවේ ලංකාවේ අනෙක් කෙලවරේ සිටින කෙනෙකුට කටුනායකට ලඟාවෙන්න ගත වෙන කාලය දවසකට වැඩියි සමහර විටෙක. උදාහරනයක් ලෙස යාපනයේ සිට පැමිනෙන පුද්ගලයෙක් නම් කලින් දිනයේ පැමින කොළඹ නවාතැන් ගෙන දුක් විඳිනා සැටි මා පෞද්ගලිකව දන්නවා.
නමුත් අත්‍යවශ්‍යනම් කල යුතුව තිබුනේ පලාලි ගුවන් තොටුපල නවීකරණය කර අන්තර්ජාතික තත්ත්වයට ගෙන ඒමයි. දැනටම භාවිතයේ තිබෙන ගුවන් තොටුපලක් නිසා එය මීට වඩා බොහෝ ලාභදායි.පරිසරහිතකාමී සහ මානව හිතකාමී විකල්පයක් වන්නට තිබුනා කියන එකයි මගේ පෞද්ගලික මතය. එය ලංකාවේ ඒ භාගයේ වෙසෙන පුරවැසියන්ට විශාල ප්‍රයෝජනයක් වන්නට තිබුනා. නමුත් මත්තලට වැඩියෙන් පොඩ්ඩක් ඵලදායී උනත් අවසාන ප්‍රතිපලය ඛේදවාචකයක්ම තමයි. මන්ද, ශ්‍රී ලංකාවේ සක්‍රීයව ගුවන් ගමන් භාවිතා කරන පුද්ගලයින් සංඛ්‍යාව ඉතා පහල අගයක් නිසා.

කලයුතුව තිබුනේ කුමක්ද?

     ඉහත සඳහන් කල ආකාරයට කටුනායක ගුවන් තොටුපල කඩිනම් සංවර්ධනයනකට ලක් කිරීම හැරුනු කොට තවත් කල හැකි දෙයක් විදියට දැනට පවතින සකීය සහ අක්‍රීය මට්ටමේ ගුවන් අභ්‍යන්තර (Domestic) ගුවන් තොටුපලවල් සංවර්ධනය කොට අභ්‍යන්තර ගුවන් ගමන් නගා සිටුවීම සහ දිරි ගැන්වීම කල හැකිව තිබුනා. ඒ තුලින් පැයක් හෝ පැය එකහාමාරක් තුල ලංකාවේ ඕනම මුල්ලක සිටින කෙනෙකුට සාධාරන මිලකට ප්‍රධාන ගුවන් තොටුපලකට පැමිනීමට හැකියාව ලැබෙනවා. ලංකාවේ තිබෙන අභ්‍යන්තර ගුවන් තොටුපලවල් සංඛ්‍යාව ගැන දළ අවබෝධයක් ලබා ගැනීමට පහත ලැයිස්තුව බලන්න.

Location served




Airport name

Runway

Ampara

Ampara Airport1,097 m
Anuradhapura

Anuradhapura Airport1,493 m
Batticaloa

Batticaloa Airport1,700 m
Jaffna

Jaffna Airport2,350 m
Galle

Koggala Airport958 m
KandyKandy Airport
Colombo

Ratmalana Airport2,000 m
Trincomalee
China Bay Airport2,393 m
(source: wikipedia)

ඉහත වගුවේ දැක්වෙන්නේ සිවිල් ගුවන් තොටුපලවල් පමනයි. මීට අමතරව සෑම පලාතක්ම ආවරනය වන පරිදි ගුවන් හමුදාව විසිල් භාවිතා කරන ගුවන් තොටුපලවල් තිබෙනවා. මේ අනුව අප හිතනවට වඩා විශාල ගුවන් තොටුපලවල් සංඛ්‍යාවක් අභ්‍යන්තර ගුවන් ගමන් සදහා භාවිතා කල හැකි බව පේනවා. මේවායේ යටිතල පහසුකම් සංවර්ධනය කර පෞද්ගලික අංශයට පහසුකම් සලසා දිරි ගැන්වුවහොත් සාධාරන මිලකට අභ්‍යන්තර ගුවන් සේවා සැපයිය හැකියි. ඒ තුලින් කටුනායකට සහ කටුනායකින් ලංකාවේ ඕනම පලාතකට පැයක් හෝ දෙකක් තුලදී ලඟවීමේ හැකියාව ලැබෙනවා.

පසුවදන!
   
     ගුවන් යානයක් ගොඩ බෑම සහ ඉහල නැංවීම සංකීර්න කාර්‍යයක්. ඒ සඳහා විශාල වියදමක් වැයවෙනවා වගේම ඉන්ධන දහනය හා කාබන් විමෝචනය නිසා සිදුවන පාරිසරික හානියත් ඉහලයි. තේරුමක් නැතිව මගීන් නැතිව මත්තලින් බස්වා යලි ගුවන් ගතකොට විනාඩි කිහිපයක් තුල කටුනායකින් නැවත බැස්සවිම බොහො ගුවන් සමාගම් වලට විහිලුවක්. ඒ නිසා තව නොබෝ දිනක් යන්නට මත්තෙන් මත්තලට යන්නේ සහ එන්නේ ශ්‍රි ලංකන් සහ මිහින් ගුවන් සෙවා පමනක් වන්නට බොහෝ ඉඩ තිබෙනවා. ඒවා දැනටමත් මහ ජනයාගේ බදු මුදල් සේලයින් විදියට ගහගෙන පන ඇද ඇද සේලයින් වල පවර් එකෙන් ක්‍රියාත්මක වෙන බව නොරහසක්. ඒවායේ පාඩුව ඉදිරියේදී වැඩිවනවා නම් දූෂනය,නාස්තිය ඇතුලු එකී මෙකී හේතු ගොන්න අතරට මත්තලද එක හේතුවක් වනවා ඇති. ඒ අතරට ලබන වසරේ ජනවාරි මස සිට කටුනායක සංවර්ධනය කිරීමේ මුවාවෙන් දිනකට පැය 8ක් වසා තබා ඒ කාලය තුලදී ගුවන් යානා මත්තල ගොඩ බෑමේ සූදානමක් ගැනත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් බලධාරීන් එම වාර්තා ප්‍රතික්ෂේප කොට තිබුනා..
     ගුවන් සමාගම් වලට සේවා සැපයීම (ground handling) සහ ගුවන් තොටුපල ගාස්තු ඇතුලු අනෙක් බොහෝ ගාස්තු සඳහා වට්ටම් ලබාදී තිබියදීත් ගුවන් සේවා මත්තල ප්‍රතික්ෂේප කිරීම තුලින් පෙනී යන්නේ එම ව්‍යාපෘතියේ ඇති අසාර්ථක බව නොවේද? ගමක ෆුඩ් සිටියක් අරින්නට පෙරම සමීක්ෂන ආයතන එම ප්‍රදේශයේ වෙලඳාම, ක්‍රය ශක්තිය ආදිය ගැන තොරතුරු සොයා බලන බවට මා අසා තිබෙනවා. එවැනි ආයතනම තම ආයෝජනය පෙර එසේ තොරතුරු සොයා බලන්නේ නම් මේ සා විශාල ආයෝජනයක් කරන්නට පෙර ශක්‍යතා අධ්‍යයනයක් කියා රජය කලේ මොනවාද?
     සම්පත් බෙදීයාම ගැන කතා කරනකොට ඉංග්‍රිසියෙන් එය Equal Distribution සහ Equitable Distribution ලෙස වර්ග කර දැක්විය හැකියි. Equal යනුවෙන අදහස් වෙන්නේ සමානව සම්පත් බෙදීයාම. අනෙක් එකෙන් අදහස් වන්නේ අවශ්‍යයතාවයේ හැටියට/ප්‍රමානයට සම්පත් බෙදීයාම. ලංකාවට මේ මොහොතේ අවශ්‍යය සමානව සම්පත් බෙදීයාමකට වඩා අවශ්‍යතාවයේ හැටියට සම්පත් බෙදීයාමක්.
ජීවය හැදිලා තිබෙන්නේ කාබන්, හයිඩ්‍රජන්.ඔක්සිජන් ඇතුලු මූලද්‍රව‍ය වල සුසංයෝජනයෙන් නිසා ඒ මුලද්‍රව්‍යය බෝතලයකට දාලා වහලා හෙල්ලුවහම ඒවා ප්‍රතික්‍රියා කර ජීවය ඇතිවෙයි කියලා අපේ නායකයෝ හිතනවා නම් එයින් ගම්‍ය වන්නේ ඒ පුද්ගලයාගේ ඒ විෂය ආශ්‍රිත නොහැකියාව සහ දැනුම් මට්ටම. සංවර්ධනය තුල වුනත් එහෙමයි. කවුරු හරි හිතනවා නම් යම් කිසි නගරයකට වරායක්,ගුවන් තොටුපලක්, අඩි සීයේ පාරක්, සම්මන්ත්‍රන ශාලාවක් දුන්නම ඒ ප්‍රදේශය සංවර්ධනය වෙයි කියලා ඒක මුලාවක්.
     මේ තරම් කරුනු කාරනා දෑස මානයේ තිබියදීත් තම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන,අනුන්ගේ සල්ලි වලින් ජයට මගුල් කන සහ එසේ මගුල් කෑම ආඩම්බරයකට කරුණක් ලෙස දකින නායකයින් සිටීම සැබැවින්ම ජාතියේ අවාසනාවක්!

සංවාදයට විවෘතයි......

56 comments:

  1. ඔබේ ලිපිය ඉතාම වටිනා ලිපියක්.නමුත් කිසියම් හේතුවක් නිසා මම මේ මාතෘකාව ගැන කතා කරන්නේ නෑ.පොඩි එකෙක් මොනවහරි දැක්කාම ඒක ගෙදර ගෙනියන්න අඩනවා වගේ දකින දකින සේරම හම්බන්තොට හදන එකට රටේම ජනතාවට බර දරන්න වෙන එක නම් අවාසනාවක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට!

      Delete
  2. මා දන්නා විදිහට ජයිකා ණය පහසුකම් යටතේ ක‍ටුණයක ගුවන් තො‍ටුපල නවීකරන වැඩසටහන්ක් පවතිනවා..ඒය මේ වසර තුලදී ක්‍රියාත්මක වෙන බවකුත් කොහේ හෝ මා කියවා තිබෙනවා.

    ඕබ ගුවන් තො‍ටුපල සම්භන්ධයෙන් ගෙන එන තර්ක හා සමානම තර්ක අධිවේගී මාරග සම්භන්ධයෙනුත් තර්ක තියෙනවා...උදාහරනයක් ලෙස ඒක අධිවේගී මාර්ගයකට වැය කරන මුදලින් සාමානය A ශ්‍රේනියේ පාරවල් Aදිවේගි මර්ගයේ දුර මෙන පනස් ගුණුයක් තැනිය හැකියි. ඒනිසා අධිවේගී මාර්ග හදනවාට වඩා සමාන්‍ය මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරිම්ම වඩා හොද යැයි තර්කයක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. එ දෙක සමපාත කරන්න අමාරුයි කියලා මං හිතන්නේ. දියුනු මාර්ග පද්ධතියක් සහ අධිවේගී මාර්ග කියන්නේ ආර්ථික සංවර්ධනයට විශාල රුකුලක්. ඒවා භාවිතය තුලින් ඉතිරිවන කාලය,ඉන්ධන වගේම මිනිස් ශ්‍රම පැය ගනන කියන දේවල් සේරම අවසානයේදී සංවර්ධනය කියන කාරනයේදී වැදගත් වෙනවා.

      Delete
  3. මත්තල සහ කුරුල්ලෝ...

    ReplyDelete
  4. මම දැක්කා යූ ඇන් පී එකෙන් කියලා තියෙනවා එයාලා ආපු දවසක මේක වහලා දානවා කියලා. විය යුත්තේ ඒක නොවෙයි. මෙහි ඇති අඩු පාඩු කම් සපුරා එය දියුණු කිරීමයි. එහිදි දේශපළණය ඈදා ගැනීම වැරදියි. සංචාරකයන්ගේ වර්ගීකරණයක් තියෙනවා. සමහර අය කැමති මුහුදු වෙලර අයිනේ තම නිවාඩු කාළය ගත කිරීමට, සමහර අය කැමති වයිල්ඩ් ලයිෆ් සෆාරි යන්න. සමහර අය නටබුන් බලන්න. සමහර අය ඔය ඔක්කෝම වගේ විවිධ සංචාරකයින් එනවා. මත්තල වටේම මේවා තියෙනවා. ඒ ඇරුණම හාබර් එකක් හදලා නැව් නැතුව බලාගෙන ඉන්නවා. කොළඹ නැති ළොකු වාසියක් හම්බන්තොට තියෙනවා. ඒ ඉඩම්. ඉතින් කිසිම අපහසුවක් නැතිව, නැව් වලට තෙල් ගහන්න අපිට බැරිනම් පිටරට සමාගමකට හරි අවසර දෙන්න ඕන ටැංකි ගහන්න. පහසුවෙන්ම නිදහස් වෙළඳ කළාපයක් ඇති කරන්න පුළුවන් 100% බදු නිදහස අවුරුදු පහකට වගේ දීලා. තරු 7 හෝටල් හදන්න විදේශිකයන්ට ආරාධනා කරන්න ඕන. අධි වේගී මාර්ගය මත්තල දක්වා ගෙනියන්න ඕන. එහෙම කළොත් කොතරම් රැකි රක්ෂා බිහි වෙනවද. වැරදි දේ විනාශ කිරීම නෙමෙයි කළ යුත්තේ. වැරද්ද නිවැරදි කිරීමයි.

    ReplyDelete
    Replies
    1. මචං මාතලන් මේවා පොඩි ව්‍යාපෘති නෙමෙයි නේද? මේ වාගේ දෙයක අඩුපාඩු හදනවා කියන්නේ අර "ඔයාලා ලිඳ කපන වැඩේ පටන් අරන් කරගෙන යන්නකෝ - කපන්න ඕනේ තැන මම පස්සේ හෙමිහිට කියන්නම්" වගේ වැඩක් නෙමේද?
      මත්තල ගුවන් යානා වලට තෙල් ගහන පහසුකම් තාම මම දන්න හැටියට අවම මට්ටමක තියෙන්නේ - සැලසුමේ තියන විදිහට ටැංකි හැදුවා කියමුකෝ - හම්බන්තොට හාබර් එකෙන් සැපයුනොත් ඇර දැන් කරගෙන යන විදිහට කොලොන්නාවෙන් Jet A1 බවුසර් වලන් සැපයීම කරගෙන යන්න පලුවන් වෙන්නේ මත්තලට අඩු ගුවන් ගමනාගමනයක් තිබුනොත් විතරයි - එතකොට ඒකත් වරායේ සාර්ථකත්වයත් එක්ක සබැඳෙනවා - අරක හිටියොත් මේකත් ඉවරයි!
      මේක රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාගැන හිතල හදාපු එක කෙසේ වෙතත් යුධ වාතාවරණයක් (කලාපයේ හෝ රටේ) එල්ල කරගෙන හදාපු එකක් කියලයි මට හිතෙන්නේ!
      ජලාස වල තියන වතුර ටික (ඒත් වැස්සොත්) හැරෙන්න අපට බලශක්තිය ගැන කිසිම විශ්වාසදායක වැඩ පිළිවෙලක් නෑ තවමත් - චීනෙන් ලැබෙන නිසා මේ ව්‍යාපෘති ගන්නවා වුණත් අවධානය යොමු කලයුතු ලොකුම දේ තමා මේ වෙලාවේ බලශක්ති තුලනයට (ඉල්ලුම හා සැපයුම) පැහැදිලි වැඩපිලිවෙලක් සකසාගන්න එක - ඒවාට බීරි අලියන් සේ සිටීම කාලයේ තාලය වී ඇත!

      Delete
    2. දැන් මේක හදලා ඉවර නිසා මේක ඵලදායීව භාවිතා කරන්නේ කොහොමද, මේක රැකගන්න මොනවද කරන්න ඕන කියන එක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්. නමුත් හදලා ඉවරකරන්න කලින් මේ දේවල් හිතන්න තිබුනා. ඔබ කියන විදියට හැම දෙයක්ම හදලා ඊට පස්සෙ ඒ පැත්ත දියුනු වෙයි කියලා බලං ඉන්න එක සාර්ථක නෑ. ඔව්. දියුනු වෙයි. නමුත් ඒ සඳහා කොච්චර කල් යයිද? වසර 20ක්? 30ක්? විශාල ආයෝජනයක් කරලා එතරම් කලක් ප්‍රහිලාභ සඳහා බලං ඉන්න පුලුවන් තත්ත්වයකද අපේ රට අද තියෙන්නේ?
      අනික UNP එකේ තනි තනි පුද්ගලයින් කරන ප්‍රකාශ එම පක්ෂයේ ජාතික ස්ථාවරය ලෙස සලකන්න බැහැ. ඒ ආවත් එයාලා ඔය දේ කරන්නෙත් නැහැ.

      Delete
    3. ඔය ඌ ඇම් පී උන් කියන කතාවනං හරියට අර මේ ගොල්ලො කණ්ඩලම වහල ඉස්පිරිතාලයක් දානව කිව්ව වගේ තමයි.

      Delete
    4. හොඳ කළමනාකරණයකට යන්නේ වසර තුනයි...

      Delete
    5. ඕක හැදුවේ රටේ කැරැල්ලක් ආවොත් තමන්ට වාසි සහගත හම්බන්තොට පැත්තෙන් රටින් පිට වෙන්න ලේසි නිසා වගේ දෙයක් හිතෙන්නේ නැද්ද ...

      Delete
  5. ශ්‍රී ලංකාව තුල දෙවන අන්තර්ජාතික ගුවන් තොටුපලක් තිබීම අත්‍යාවශ්‍ය නොවුනත් එසේ තෙබීම වරදක් ලෙස මම දකින්නේ නැහැ. මේ අවස්ථාවේදී ප්‍රධාන අවශ්‍යතාවය එය නොවෙන්න පුළුවන්. ඔබ කියූ පරිදි පලාලි ගුවන්තොටුපල දියුණු කර එය අභ්‍යන්තර ගුවන් ගමන් වලට ප්‍රමුඛත්වයක් දෙන, ජාත්‍යාන්තර ගුවන් ගමන් වලට පහසුකම් ඇති ගුවන් තොටුපලක් බවට පත කලා නම් වඩා හොඳයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පලවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපල රත්මලාන. කටුනායක දෙවැනි එක. දෙවැනි එකක් වැසි නම් කල යුතුව තිබුනේ තිබෙන ගුවන්තොටුපලක් ජාත්‍යන්තර මට්ටමට සංවර්ධනය කිරීම කියන තැනයි මං ඉන්නේ!

      Delete
  6. ඉතාම වැදගත් කරුණු ගණනාවක් මේ ලිපිය තුල පෙන්වා දී තිබීම ගැන සබීත්ට ස්තුති වන්ත වෙනවා. දැන් කොහොම මේක හදලා ඉවරයෙනේ. ඒ නිසා රටේ ඉදිරි පියවර විය යුත්තේ මේක ගොඩගන්න ක්‍රමවේදයක් ගැන කල්පනා කිරීමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට!

      Delete
  7. ගොඩක් කොළඔට ආසන්න අයට නම් ඉතින් හම්බන්තොටට සංවර්ධනය ගෙනියන කොට ට්කක් අමාරුයි. ඒ උනත් ලංකාවෙ හැම පලාතක්ම සංවර්ධනය කරන්න ඕන. ඔබ තුමා පොඩ්ඩක් කියවල බලන්න උතුරට කරන සංවර්ධනය. මම හිතන්නේ ඔබ තුමා ඒ ගැන කතා කරන්නේ නැත්තේ ඒ පැත්තේ වැඩිපුර ඉන්නේ මුස්ලිම ජනතාව නිසා වෙන්න ඇති. මාතලන් හරියටම හරි. :p

    ReplyDelete
    Replies
    1. ලොල්. :D
      මං එක දවසක් සඳහන් කලා වගේ මං අදටත් පසු තැවෙනවා මගේ ඇත්ත නමින් බ්ලොග් ලිවීම ගැන. හේතුව මගේ ලිවීම පරාසය සෑහෙන්න සීමා කරගන්න මට සිදුවෙලා තියෙනවා. මොකද මං මොනවා හරි ලියපු ගමන් පාඨකයෝ ඒක කියවන්න ගන්නේ මේක ලියන්නේ 'මුස්ලිම්' එකෙක් කියන කඩතුරාව තුලින්. මගේ ලිපියේ අන්තර්ගතය සාධාරන තර්ක පසෙකලා මගේ 'ජාතිය' ඔස්සේ ප්‍රශ්ණ කරන්න පටන් ගන්නවා.
      ලංකාවේ කොහේ හෝ කොනක සංවර්ධනයක් වෙනවා නම් මං අවංකවම සතුටු වෙනවා. මොකද සංවර්ධනය වෙන්නේ මගේ රට නිසා. පලාත් වලට බෙදලා ඒ සතුට බෙදලා විදින්න තරම් මං කුහක නෑ.
      උතුරට යම් තරමක සංවර්ධනයක් කෙරෙන බවට ඔබ කියනා ප්‍රකාශය එක්ක මං සපුරා එකඟයි.
      මං මෙතනදි පලාලි ගුවන් තොට උලුප්පා දැක්කුවේ මට හැඟෙන විදියට තිබෙන හොඳම විකල්පය එය නිසා සහ එවිට ගුවන් තොටුපලවල් දෙක රටේ දෙකොනේ ස්ථාපනය වෙන නිසා. ඇරත් මුස්ලිම් අය වැඩිය ඉන්නේ මං හිතන නැගෙනහිර නේද? :D ස්තුතියි අදහසට! :)

      Delete
    2. ඇනෝ, හම්බන්තොට කියන්නෙ හම්බයින්ගෙ තොට. දකුණෙ අති විශාල මුස්ලිම් ජනගහනයක් ඉන්න පලාතක්. එහෙව් එකේ සබිත් හරිනම් සතුටු වෙන්න ඕන ඔය කියන විදියට ජාති වාදෙන් හිතුවම.

      Delete
    3. නියම කතාව ඉන්දික.. මුස්ලිම් නම ඇහුනහම කහන පොරවල් ඉන්නවනේ

      Delete
  8. දැන් කොහොම හරි වැඩේ වෙලා ඉවර නිසාත්, මේවට ගෙවන්න වෙන්නෙ අපට නිසාත්, වරායයි, ගුවන් තො‍ටුපලයි කොහොම හරි ඇදගෙන යන්න පුලුවන් නම් අපි කැමතියි.

    ReplyDelete
    Replies
    1. දැන් මේක හදලා ඉවර නිසා මේක ඵලදායීව භාවිතා කරන්නේ කොහොමද, මේක රැකගන්න මොනවද කරන්න ඕන කියන එක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්. නමුත් හදලා ඉවරකරන්න කලින් මේ දේවල් හිතන්න තිබුනා.plan එක ඇඳලා ගේ හදනවා මිසක් ගේ හදලා ඊට පස්සෙ ප්ලෑන් එක අඳින්නේ නෑ නේද!

      Delete
  9. කදිම ලිපියක් මිත්‍රයා..මට පේන්නෙ තමන්ගෙ නම දාගන්න පුලුවන් නම් ලාභදායී නැති වුනත් මේ වගේ මහාපරිමාණ ව්‍යාපෘති අතිවිශාල ධනස්කන්දයක් ණයට අරගෙන කරන්න වර්තමාන පාලකයා ඉතාමත් රුචි බවයි. හම්බන්තොට වරායටත් අද අත්වී ඇත්තේ මේ සෙතේම නේද...

    ජාත්‍යන්තර ආරක්ෂණ සහතිකය පවා ලැබී නැති මත්තල ගුවන්තොටුපල තවත් සුදු අලියෙකි.

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ සල්ලිවලින් කොටහලු මගුල් ගන්නවා වගේ තමයි!

      Delete
  10. මට තියෙන එක ප්‍රශ්නයක් තමයි මීට අවුරදු 20- 30කට විතර කලින් යෝජනා වෙලා, ඇඳි ඇදි තිබිච්ච සංවර්ධන ක්‍රියාවලි දැන් ක්‍රියාත්මක කරලා, ඒ කාලයේ ලබාගන්න බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලයම ලබගන්න පුළුවන් වෙයිද කියන එක...

    //පහත වගුවේ දැක්වෙන්නේ සිවිල් ගුවන් තොටුපලවල් පමනයි. මීට අමතරව සෑම පලාතක්ම ආවරනය වන පරිදි ගුවන් හමුදාව විසිල් භාවිතා කරන ගුවන් තොටුපලවල් තිබෙනවා. මේ අනුව අප හිතනවට වඩා විශාල ගුවන් තොටුපලවල් සංඛ්‍යාවක් අභ්‍යන්තර ගුවන් ගමන් සදහා භාවිතා කල හැකි බව පේනවා. මේවායේ යටිතල පහසුකම් සංවර්ධනය කර පෞද්ගලික අංශයට පහසුකම් සලසා දිරි ගැන්වුවහොත් සාධාරන මිලකට අභ්‍යන්තර ගුවන් සේවා සැපයිය හැකියි.//

    මේක තමයි ඇත්තටම කළ යුතුව තිබුණාය කියලා මම හිතන්නෙත්.. ඒත් දැන් මහා මුදල් සම්බාරයක් වියදම් කරලා ඉවරයි.. මොනවා උනත් මේ ණය අපි දැන් ගෙවන්නම ඕනේ.. ඒක නිසා දැනට කරන්න තියෙන එකම දේ මේක Ghost Airport එකක් වෙන්න නොදී අඩුමගානේ සංචාරක කර්මාන්තය පැත්තෙන් වත් මේක ගොඩගන්න ක්‍රමයක් හැදුවා නං හොඳයි කියලා මම හිතන්නේ... හැබැයි ඉතිං ඒකට සමහර විට රටක් විදියට ලොකු කැපකිරීමකුත් කරන්න වෙයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට හිරු! දැන් මේක හදලා ඉවර නිසා මේක ඵලදායීව භාවිතා කරන්නේ කොහොමද, මේක රැකගන්න මොනවද කරන්න ඕන කියන එක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්.

      Delete
  11. හොඳ ලිපියක්. බොහොම ස්තුතියි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක!

      Delete
  12. ලිපිය හොඳයි
    මට නම් හිතෙන්නේ මෙතන වෙලා තියෙන්නේ රටට අවශ්‍ය නිසා මත්තල ගුවන්තොටුපලක් හැදුනා කියලා නෙවේ මත්තලට අවශ්‍ය නිසා මත්තල ගුවන්තොටුපලක් ඉදි වුනා කියලා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිශාන්!

      Delete
  13. ඉස්සහරට මෙහෙම වෙන්න පුළුවන්. මේව දියුණු වෙයි, එක කැඩුනොත් දෙකක් එපාද?

    guys, assumption is the mother of all fuckups..

    ReplyDelete
    Replies
    1. You have a point. But it might take time. perhaps a long time.
      සෑහෙන්න මුදලක් ණයට අරන් ආයෝජනය කරලා ඒවායේ ප්‍රතිලාභ ලැබෙනකම් වසර දහයක් පහලොවක් බලං ඉන්න පුලුවන් තැනකද අපි ඉන්නේ කියන ප්‍රශ්ණෙ තමයි තියෙන්නේ.

      Delete
  14. මම දන්නා ඩුබායි වල මේ ලගක් වෙනකල් තිබුනේ එක ගුවන් තොටුපලයි.එකේ ටර්මිනල් 3ක් හැදුව 3 වැනි එකත් හැදුවේ ගොඩක් ලගකදී.එතකොට 1 ගුවන් තොටුපලයි ටර්මිනල් 2යි තිබ්බේ.මේකට එන සෙනග ගැන කියන්න දෙයක් නැනේ හැමෝම දන්නවා.මෙහෙ ගුවන්තොටුපල දැකපු අය දන්නවා ඒ තියන එකම එකේ ඇතුල්වීම බොහොම නොගැලපෙන මට්ටමේ තියන්නේ.එම උනත් මේ අය තව එකක් හදන්න ඉස්සර උනේ නෑ.තියන් එකම එක දියුණු කලා මේ කලාපයේ තියන හොදම එක විදියට.සබිත් කියන එක හරි කරන්න තිබ්බේ තියන එක හොදම තත්වයට ගන්න එකයි.

    හැබැයි අර මම උඩින් කිව වගේ විශේෂ හේතුවක් ඇති ඕක ඔතන හදන්න.

    ReplyDelete
    Replies
    1. ඔව්. කරන්න තිබුනේ ඒකයි. මා දන්නා මා ගිහින් තියෙන තව දියුණු රටවල් කිහිපයකම තියෙන්නේ ඉස්තරම් මට්ටමේ එක් ගුවන් තොටක් පමණයි! ස්තුතියි අදහසට!

      Delete
  15. කුණාටු, වැසි, සුළං බහුල කළාපයක තමයි කටුනායක ගුවන් තොටුපළ තියෙන්නේ... ඉතිං ශුෂ්ක කාළගුණික කළාපයක් වන හම්බන්තොට, මත්තල වගේ ප්‍රදේශයක දෙවන ගුවන් තොටුපළක් ඉදිකිරිම මට හිතෙන්නේ හොඳ දෙයක්.. ඇත්තටම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරද්දි හිතන්න ඕන අද ගැන නෙවෙයි, තව අවුරුදු 20 ක් ඉදිරියට. කළාපීය වශයෙන්, අන්තර්ජාතික වශයෙන් අනාගත ලෝකයේ දි අපට හිමිවන තැන මහත් ඉහළයි කියලයි මට හිතෙන්නේ.. දුරාව‍බෝධයකින් යුක්තව සිදුකරගෙන යන මේ ව‍ගේ යෝධ සංවර්ධන ව්‍යාපෘති ගැන මීට වඩා පළල් මනසකින් හිතන්න හැමෝටම ශක්තිය ලැබේවා....!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට! කාලයට ඉඩදී බලා සිටිමු!

      Delete
  16. මටනම් හිතෙන්නෙ දෙවන අන්තර්ජාතික ගුවන් තොටුපලක අවශ්‍යතාවයක් තියනවා. මොකද හස්දිසියේ කටුනායකට මොනවා හරි වුනා, අර 2001දි කොටි ගැහුවා වගේ, නැත්නම් වෙන ලොකු විනාශයක් වුනා. යථාතත්ත්වයට ගන්නකම් රට යන එන අයට විකල්පයක් තියෙන්න ඕනා. ඒකට මත්තල හොඳද නැද්ද කියලා කියන්න තාම කල් මදි වගේ.. පලාලිත් හොඳ විකල්පයක් වෙන්න පුලුවන්..

    කටුනායක තව දියුණු වෙන්න ඕනා කියන එකනම් සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා අදහසට! කාලයට ඉඩදීලා බලා ඉමු!

      Delete
  17. දැන් මේක හදලා ඉවරයි. ඒත් ඒක රටට ආයෝජනයක් වුණාට පස්සේ අතහැර දානවාට වඩා සුළු වෙන් හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්නම් හොදයි. නැත්නම් ඒ බර ජනතාවට ගෙවන්න වේවි.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම! ස්තුතියි දයානන්ද අයියා!

      Delete
  18. හැමදාමත් වගේ සංවාදයකට ලක් කල යුතුම මාතෘකාවක්.
    මෙහිදී මම දකින කරුණු වන්නේ,
    කිසිවක් නොකර සිටින්නාට වඩා යමක් කර වරද්දා ගන්න කෙනා අගය කල යුතුයි. (කිසිවක් නොකර ගසා කෑ විට කිසිවක් ඉතිරි නොවේ යමක් කර ග
    වරදක් වෙන්නට කලින් එය වැලැක්විය යුතුයි
    යමක් වැරදුන පසු එය හැකිතාක් දුරට සාර්ථක කර ගැනීමට උත්සාහ ගැනීම වඩාත් ඵලදායී. (ඒ ගැන සංවාදයක් ඇති කල යුතුයි )
    නැවත මෙවැනි වැරදි වීමට ඉඩ නොතැබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම. prevention is better than cure කියලා කියනවනේ!

      Delete
  19. අනේ දියුණුව ගැන හිතන අතරේ අසරණ සත්තු ගැන අමතක කරන්න එපා.. මම නම් කියන්න බැරි තරම් කැමතියි ඕක වහලා දානවනම්..

    ReplyDelete
  20. මේ වගේ ව්‍යාපෘති ගැන කතා කරද්දි විමල් අයියා විකුණපු ජෝර්ජ් පර්කින්ස්ගේ ආර්ථික කුලී ඝාතකයාගේ පාපොච්ඡාරණය පොත අමතක කරන්ඩ බෑ.ඇමරිකාව ඒ දවස්වල කරපු දේ අද චීනය කරනවා.වෙන කිසිම වෙනසක් නෑ.රටකට අනවශ්‍ය යෝධ සංවර්ධන ව්‍යාපෘති ඉදි කිරීමට ඒ රටේ නායකයින්ව පොළඹවලා පස්සේ ඒ ව්‍යාපෘති රටට හෙන වැඩදායකයි කියලා මවා පෙන්වනවා.රටට ණය දෙන්නේ ව්‍යාපෘතිය ඔවුන්ගේ රටේ සමාගමකට පවරණ බවට පොරොන්දු කරවගෙන.අන්තිමට චීනයට අපි ණය වෙන එක විතරයි වෙන්නේ.රටට කිසිම වැඩක් නෑ.කට්ටිය අහලා ඇතිනේ ඔය ලොකු ලොකු ව්‍යාපෘතිවලට ඇවිල්ලා ඉන්න චීන කම්කරුවන්ට කෑම බීම පවා චීනෙන්ම ගේනවා කියලා.අපි පව්.

    හම්බන්තොට වරාය හදලා හයි වේ එක හදලා ඒ දෙකම ප්‍රයෝජනයට ගන්ඩ වෙනම වැඩක් පටන් ගත්තා.කොළඹට වාහන බාන එක තහනම් කරලා ඒවා හම්බන්තොට බාලා හයිවේ එකෙන් කොළඹට ගේනවා.ඒක බලං ඉන්න අපේ හරක් හිතනවා ඇත්තට හයි වේ එක නොතිබ්බනං කොහොමද කොළඹට වාහන ගේන්නේ කියලා.

    මේ ඔක්කොටම ඉහළින් තියෙන්නේ මහින්දගේ හීනමානය.ඒ මනුස්සයට ඕනේ මොනවා හරි දේක තමුන්ගේ නම ගහගන්ඩ.මිහින් ලංකා එක පාඩු පිට දුවද්දිත් දිගටම තියං ඉන්නේ ඒකයි.මේවා අපි හැමෝගෙම බදු සල්ලි.එංගලන්තෙටත් වඩා ක්‍රිකට් පිට්ටනි ගාණක් අපිට තියෙන්නෙත් ඒකයි.මිනිහා තවම හැදුවේ නැත්තේ වැවක් විතරයි.ඒකත් හදයි හොඳ කැලෑ අක්කර ගාණක් එළි කරලා.එතකොට ලී ටිකත් උස්සන්ඩ පුළුවන්නේ.අනික පළාත් නමයෙම චෛත්‍ය නමයක් හදන්ඩත් ප්ලෑන් එකක් තිබ්බ නේද?

    හදපු පලියට තවත් පාඩු විඳ විඳ ඕක පවත්වං යන එකේ තේරුමක් නෑ.මගෙනං අදහස ඔය ගොඩනැගිලි වෙන සමාගමකට විකුණලා දාන එක තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. ඔය වාහන බාලා කොළඹට ගේන එක නම් කරන්නේ ඔය උඩ අය කියලා තියෙන විදියට 'හදලා ඉවර නිසා දැන් මොනා හරි කරලා මේක ගොඩ ගන්න ඕන' කියන තියරිය උඩ පිහිටුවලා. එන්නේ නැත්නම් බලෙන් හරි ගෙන්නගන්න එපැයි!

      Delete
  21. හම්බන්තොට වරායේ,කොලඹ වරායේ වගේ බහාලුම් මෙහෙයවන කටයුතුකරන්න බැහැ.ඒට අවශ්ය දොඹකර එහි නැහැ.තවම එහි පලමු අදියර පමනයි නිමකර ඇත්තේ.මත්තල ගුවන්තොටුපලත් එහෙමයි.මහා මාර්ග සැකසීමේදී පූර්ව සැලැස්මක් නැති බවක් තමයි පේන්න තියෙන්නෙ.මක් නිසාද හදනවට වැඩිය ඉක්මනින් කඩන නිසා.ඉවක් බවක් නැතිව වනන්තර විනාස කරල.අලින්ට ඉන්නවත් කැලෑවක් නැතිවෙන හැඩයී.වැඩිකල් නොගිහින් මත්තලින් මොනරෙක් බෙහෙතකටවත් හොයාගන්න බැරිවෙන හැඩයි.බලධාරීන් දන්නේ සංවර්ධනය පමනයි.තිරසාර සංවර්ධනයක් අහලවත් නැති පාටයි.මිනිස්සු තමන්ගෙ ඉඩකඩම් පිලිබඳ දෙගිඩියාවෙන් ඉන්නෙ.තමන්ගෙ ඉඩමි කොයිවෙලාවේ හෝ සංවර්ධන කටයුත්තකට මුවා වී පවරාගනීවි යන බියෙන්.සංවර්ධනයක් වෙනබවනම් ඇත්ත,නමුත් සැලැස්මක් ඇතුව ඒක වෙනවනම් තමයි වඩා හොඳ.ඔන්න ඕකයි හම්බන්තොට තත්වෙ

    ReplyDelete
    Replies
    1. තිරසාර සංවර්ධනය කියන සංකල්පය දැන් ලංකාවෙන් ගොඩක් ඈතට ගිහින්. බොහොම ස්තුතියි ඇනෝ ඔබගේ අදහසට. මගේ ලිපි තුල ඇනෝනිමසයන් බොහොම වැදගත් අදහස් බ්ලොග් එක පටන් ගත්තු දවසේ ඉඳලා මතු කරලා තියෙනවා,වැදගත් සංවාද ගොඩ නගලා තියෙනවා. නමුත් ඇතැමුන් ඒ පහසුකම කුණුහරුප කියන්නයි මඩ ගහන්නයි භාවිතා කිරීම ඇත්තටම කණගාටුවක්. ස්තුතියි නැවතත්!

      Delete
  22. මම හිතන්නෙ අපිට ගැලපෙන දෙවෙනි අන්තර්ජතික ගුවන්තො‍ටුපොලකට හොදම උදාහරනය chittagong Airport එක. එකෙ ලොකු වැඩ නැ එත් වැඩේ කරන්න ප්‍රමානවත්.

    ReplyDelete
  23. ශ්‍රී ලන්කාවේ ගුවන් තොටුපලක් හදනවට වඩා, මුල්තැන දෙන්න ඕන සන්වර්ධන කටයුතු ගොඩාක් තියෙනවා (සින්හලෙන් කියනවා "Prioritize" කරනවා කියලා), රටේ දල දේශීය නිෂ්පාදනයට සමානුපාතික ණය බොහොම වැඩියි, එවන් තත්වයක් තුළ තවත් ණය අරගෙන මේ කරපු නාස්තිය කොහෙත්ම අනුමත කරන්න බෑ.

    ප.ලි. - ඔබ සින්හල බස හසුරුවන ආකාරයට මම ගොඩාක් සතුටුයි..

    ReplyDelete
  24. හොඳ ලිපියක්. ස්තුතියි.

    ReplyDelete
  25. හොඳ ලිපියක්. ස්තුතියි.

    ReplyDelete
  26. I'd like to find out more? I'd like to find out some additional information.


    Here is my webpage ... Tory Burch Flats

    ReplyDelete
  27. හොඳම හොඳ ලිපියක් සබීත්...බ්ලොග් රෝල්ට දාගත්තා..

    ReplyDelete
  28. හොද ලිපියක්.. දිගටම බ්ලොග් එක කරන් යන්න ඔබට ජය වෙව...!!!
    http://blogsale2day.blogspot.com/

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...