Thursday, September 12, 2013

සිය දිවි නසා ගැනීම || Suicide || Hot Line


     ලෝකයේ විවිධ දේ සමරන්නට විවිධ දින වෙන් කොට දී තිබේ. මෙලෙස දින වෙන් කර එක් දිනයකදී පමනක් මහා 'හා හූවක්' ඇති කිරීම වැඩකට නැති වැඩක් යැයි ඇතැම් හූ තර්ක කරති. නමුත් මා ඒ දින සංකල්පයට එකඟ වන්නේ ඇයිදැයි මා ගුරු දිනය ගැන ලියූ ලිපියක සදහන් කලා මට මතක ඇත.

සැප්තැම්බර් 10 එවන් වූ දිනයකි! ලෝක සියදිවි නසා ගැනීම් වැලැක්වීමේ දිනයයි!
මේ ලිපිය පුදන්නේ එවන් අකල් මරණයක් ලඟා කරගත් මාගේ මිතුරන් දෙදෙනා වෙනුවෙන්!

ශ්‍රී ලංකාව ලෝකයේ ඉහලින්ම ඉන්නට සමත්ව සිටිනා අංශ  අපට ආඩම්බර විය හැකි ඒවා නොවේ (ක්‍රිකට්, තේ වැනි ඒවා හැරුනු කොට). ශ්‍රි ලංකාවේ සියදිවි නසා ගැනීම් පිලිබඳව ඇති නවතම සමීක්ශන දත්තය (latest available data) පවා වසර 17ක් පමන පරන ඒවා. එනම් අවසාන වශයෙන් මේ පිලිබඳව ගනනයක් සිදුව ඇත්තේ 1996 වසරේදී. ඒ දත්ත අනුව පුද්ගලයින් ලක්ශයකට පුද්ගලයින් 21ක් සියදිවි නසා ගන්න බව සඳහන්. ඒ කාලේ දත්තවල හැටියටම අපේ ප්ලේස් එක 12 වෙනි ස්ථානය නම් නවතන සංඝනනයක් සිදු කලේ නම් අපට හිමි වන ස්ථානය ගැන දළ් අවබෝධයක් ඔබට ලබා ගත හැකි යැයි සිතමි!
Source: Wikipedia

සෞඛ්‍ය/නිරෝගී බව යනු කුමක්ද?

     අප නිරෝගී බව  කියා අර්ථ දක්වන්නේ කායික සුවය පමනයි. කෙනෙක් ලෙඩකින්න් තොරව සිටිනවා නම් ඔහු සෞඛ්‍යවත් යැයි අපි හිතනවා.
ඒත් ඇත්තටම ජාත්‍යන්තරව නිරෝගී/සෞඛ්‍යමත් යන්නෙන් අදහස් කරන්නේ පූර්ණ කායික,මානසික හා සමාජීය සුවයක්. ඒත් අවාසනාවකට ලංකාවේ බොහෝ අය අවධානය යොමුකරන්නේ කායික සෞඛ්‍ය ගැන පමනයි.
     2025 වනවිට ලෝකයේ මුලු රෝගින් ගනනින් 25%ක් මානසික රෝගීන් වන බවත් වර්තමානයේ සියලුම යුධ කටයුතු සහ මිනී මැරුම් නිසා මියයන සං‍ඛ්‍යාවට වඩා වැඩි ගනනක් සිය දිවි තොර කර ගැනීම නිසා මිය යන බවටත් ගනන් බලා තිබෙනවා.
ඒත් මේ ගැන කතාවෙන්නේ කොයි තරම් අඩුවෙන්ද?
     අප හැම කෙනෙකු තුලම මානසික ව්‍යාකූලතා තියෙන්න පුලුවන්. ඒත් ලාංකිය සමාජය තුල මානසික ලෙඩෙක් වන්නට නම් ඔහු පිස්සෙක්ම වෙන්න ඕන. නිකම් හරි කවුරු හරි මානසික වෛද්‍ය වරයෙක් ලඟට ගියා කියලා දැන ගත්තු ගමන්ම ඔහුට පිස්සෙක්/සයිකො ඩයල් එකක් කියන ලේබල් එක වැදිලා ඉවරයි.
මෙන්න මේ හේතුව නිසාම බොහෝ දෙනක් තමන්ගේ මානසික ව්‍යාකූලතාවන් වලට ප්‍රතිකාර ගන්න යන්න මැලිකමක් දක්වනවා.මේ social stigma එහෙම නැතිනම් සමාජිය ආකල්පය ලොකු හේතුවක් ලංකාවේ ඉහල සිය දිවි නසා ගැනීම් ප්‍රතිශතයට. 
     විරැකියාව සහ තරුණ අසහනය තවත් හේතුවක් ලෙස ගෙන හැර දැක්විය හැකියි. ලංකාවේ තරුණ විරැකියාව් 21% ((UNICEF Sri Lanka අනුව) ඒ අතර ලෝකයේ අසතුටින්ම සිටිනා ජනතාවන් අතර ලංකාව පලමු 20 අතර සිටිනවා. කැමැති අයට මේවා විශ්වාස කරන්න පුලුවන් වගේම අනිත් අයට බටහිර කුමන්ත්‍රන කියා බැහැර කරන්න පුලුවන්!අතිශය තරඟකාරී ලෝකයක් තුල සියලු දෙනා යාන්ත්‍රිකකරනය වෙලා. තරුන අසහනයේ තරම කොච්චරද කියලා බලන්න පුලුවන් පොඩ්ඩක් මුහුනු පොතට හරි ගොසිප් සයිට් එකකට හරි ගොඩ වෙලා බැලුවා නම්!
     
     වත්මන් අධ්‍යාපන ක්‍රමය තුල සිසුන්ට බාහිර ක්‍රියාකාරකමට එක්වන්න වෙලාවක් නැහැ. මව්පියන් එවාට උනන්දු කරන්නේත් නැහැ. පාසල් ඇරිච්ච ගමන් ටියුෂන් යන,ගිහින් ආපු ගමන් කොම්පියුටරේ දාගන්න සමාජයක් මේක.
     පාසලක ක්‍රීඩාවකට සම්බන්ධ උන අයෙක් දන්නවා පරාජය විඳදරා ගන්නේ කොහොමද කියලා. බලාපොර්තු බිද වැටෙන්නෙ කොහොමද කියලා. ඒ බිඳ වැටුනම දැනෙන් ගැඟීම මොනවගේද කියලා! කෝච්ට අම්මලා ගොට්ට අල්ලලා ටීම් එක ඇතුලට නුසුදුස්සෙක්ව දාලා තමන්ට අවස්ථාව නොදෙද්දී අසාධාරනයට ලක්වෙනවා කියන එක මොනවගේද කියලා ඒ ළමයට තේරුම් යනවා. ඒවට මුහුන දෙන ආකරය ඔහු හොයා ගන්නවා. මේ දේවල් ඉස්සරහට ජීවිතය කළමනාකරනයට ලක් කරගන්න ඒ ළමයට උදව් වෙනවා. ඒ නිසා කරුණාකරල ඔබ මවක් හෝ පියෙක් නම් තමන්ගේ දරුවන්ව ක්‍රීඩාව පැත්තට පොඩ්ඩක් යොමු කරන්න. විභාග ජය ගැනීම විතරක්ම නෙවෙයි ජිවිතේ. ඔබට ළමයා වෙනුවෙන් කරන්න පුලුවන් ඉහලම මනෝ- කායික ආයෝජනයක් ඒක!
     
     උපන්දින සමරන නොකරන එක පෞද්ගලික කැමැත්ත. නමුත් ඔබේ දරුවාගේ උපන්දිනය දවසට හෝ වසරකට කුමක් හෝ දවසක් වෙන්කරගෙන ඔබේ දරුවා අරන් යන්න පිළිකා රෝහලට. අඳ ගොලු බිහිරි පාසලට. රණවිරු සෙවනට. ගිහින් පෙන්නන්න එක දවසක් වැඩිපුර ජිවත් වෙන්න ඔවුන් විදීනා දුක මොන වගේද කියලා. එක තත්ත්පරයක් වැඩිපුර රෝගියෙක්ව ජීවත් කරවන්න දොස්තරවරු කොච්චර වෙහෙසක් ගන්නවද කියලා. දෙනෙත් අඳ, අත්පා වාරු නැති මිනිස්සු ජීවිතය ජීවත් කරවන්න කරන අරගලය ඔවුන්ට පෙන්වන්න. මෙවන් වු ජීවිතයක් ගෙවන අපි කොතරම් වාසනාවන්තද කියලා, අපේ ජීවිතේ කොච්චර වටිනවද කියලා ආයි අමුතුවෙන් ඔවුන්ට කියලා දෙන්නට ආයි ඕන වෙන එකක් නෑ.ඔවුන් විසින්ම ඒ දේ තේරුම් ගනීවි!

     ලංකාවේ දිනකට සියදිවි නසා ගැනීම 12ක් පමන වාර්තා වෙනවා නිල වශයෙන්. නිල නොවන් ඒවා තවත් ඒ තරම්ම හෝ ආසන්න සංඛ්‍යාවක් ඇති. සියදිවි නසා ගැනීමට උත්සහ කිරීම මේ අගයට වඩා කොහොමටත් වැඩී.සියදිවි නසා ගැනීම වලට එක හේතුවක් නැහැ. බොහෝ විට හේතු ගනනක් නිසා ඇතිවන පීඩනය නිසා සිදුවන්නක්. (multi factorial). 
     
     ලාංකීය මාධ්‍ය මේ සිද්ධීන් වාර්තා කරන ආකාරය ඉතාමත් ජුගුප්සාජනකයි. එවන් වූ වගකීම් විරහිත වාර්තා කිරීම් වලින් වෙන්නේ මේ දේවල් වලට උත්තේජනයක් සපයන එක විතරයි. මේ වැනි සිද්දීන වාර්තා කිරීමේදී පිලිපැදිය යුතු ජාත්‍යන්තරව පිලිගත් රිති වගේම සම්මුතීන් තිබෙනවා. ලංකාවේ ඇතැම් මාධ්‍ය මේවා අමු අමුවෙන උල්ලංඝනය කරමින් සිදු කරන ප්‍රවෘත්තී වාර්තා කිරීම් සහ ඔවුන්ගේ මාධ්‍ය භාවිතාව ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා මේ ගැටලුවේදී ඔවුන්ටත් සැලකිය යුතු කාර්යභාරයක් තියෙනවා ඉටු කරන්න!
     තමන්ගේ මානසික ප්‍රශ්න ගැන තමන් තරම් දන්නා වෙන කෙනෙකු නැහැ. මේ බොහෝ ලෙඩ බොහොම සරලව විසඳා ගන්නට හැකි‍යී මුල් අවස්ථාවේදීම. ඒ සදහා පෙලඹීමට ඇති අකමැත්ත තමයි ලොකුම පරහකට හිටින්නේ. බටහිර පාසල් වලනම් මානසික උපදේශක වරයෙක් පත් කරලා තිබෙනවා බොහෝ පාසල්වල ඒ ළමයින්ට ගිහින් තමන්ගේ ගැටලු ගැන කතා කරන්න. ලංකාවේ තත්ත්වය කොහොමද දන්නේ නෑ. ඇතැම් ප්‍රසිද්ධ පාසල්වල ඉන්නවා ඇති!

     ඉතින් මෙන්න මේ ගැටලුවලට විසඳුමක් ලෙස ඉතා ලෙහෙසියෙන් මානසික උපදේශකවරුන්ට කතා කරන්න පුලුවන් ක්‍රමවේදයක් ලංකාවට හදුන්වා දී තිබෙනවා. මේ සදහා පෙරමුන ගෙන ක්‍රියා කරන්නේ CCC පදනම. ලාභ නොලබන රාජ්‍ය නොවන සංවිධානයක්! CCC Foundation - Courage, Compassion, Commitment.
ඔවුන් නිහඬව කාලානතරයක් තිස්සේ ලංකාවේ රෝගින් වෙනුවෙන් යමක් කරනා පිරිසක්. අවාසනාවකට ඔවුන් ගැන බොහො අය දන්නේ නෑ. දැනගන්නට අවශ්‍ය ප්‍රචාරනය ලබා දෙන්නෙත් නෑ.  ඔවුන්ගේ මූනු පොතේ පිටුවට ඇති ලයික් ප්‍රමානයම ඊට කදිම නිදසුනක්!


ඒ අය Hot line එකක් එහෙම නැත්නම් සෘජු දුරකථන ඇමතුමක් හදුන්වා දී තිබෙනවා. මේ අංකය අමතලා ඔබට පුලුවන් මනෝ උපදේශකයෙක් හා සම්බන්ධ වෙන්න. බොහෝ බටහිර රටවල මේ ක්‍රමය ක්‍රියාත්මකයි! ලංකාවේ රජයකින් සිදුවිය යුතුව තිබිය යුතු දෙයක් ( සමාජ සුභසාධන අමාත්‍යංශයක් කියලා දෙයක් තියෙන රටක) රාජ්‍යය නොවන සංවිධානයක් හො ඉදිරිපත් වි ආරම්භ කිරිම අගය කල යුතු දෙයක්! මොකද මේක කාලීන අවශ්‍යයතාවයක්!

     තමන් මානසික ප්‍රතිකාර සොයා යනවාට සහ අවශ්‍ය අයව ඒ සඳහා යොමුකරනවාට ඇරෙන්න හැමදෙනාටම මේ වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තිබෙනවා!
මේ ඉන්නෙ රුවන් රණතුංග. ඔහු පසුගිය ජුනි මාසයේදි දෙවුන්දර තුඩුවේ සිට පේඩුරු තුඩුව දක්වා කිලෝ මීටර 500ක් පයින් ගමන් කර තිබෙනවා මේ පදනමේ අරමුදල් තර කර ගැනීමටත්, ජනතාව දැනුම්වත් කීරීමටත්. එහි ප්‍රතිපලයක් විදිහට පසුගිය ජුලි මාසයේදී මේ hotline එකට ලැබුනු දුරකතන ඇමතුම් සංඛ්‍යාව 1000 ඉක්මවා තිබෙනවා. මේ වගේ ගමනක් මේ මනුස්සයා කල බවක් දන්නේ අපි කියෙන් කී දෙනාද? රූ රාජිනියෝ මීටර් සීයක් දෙසීයක් ඇවිදින කොට දීපු මාධ්‍ය ආවරනය මේ වගේ දේකට ගොසිප් සයිට් ඇතුලු අනික් මාධ්‍ය ලබා නොදීම කනගාටුවට කරුනක්.

කුමාර් සංගක්කාරත් තානාපතිවරයෙක් විදිහට ඉස්සරහට ඇවිත් ඉන්නවා මේ වැඩේට දැන්. එයත් අගේ කල යුතුයි.
රුවන් රණතුංග ඔහුගෙ කොටස කලා.. මං මේ ඉටු කලේ මගේ කොටස. ඔබට කල හැකි දෙයක් තිබේ ඔබේ කොටස ඉටු කරන්න! 
මන්ද ඔබ නොසිතා කරන කුඩා කි‍්‍රයාවකින් පවා තවත් කෙනෙකුගේ ජීවිතයේ විශාල වෙනසක් කළ හැකියි!

වැඩි විස්තර මෙතනින් ------> click
Remember and spread the word!  1 3 3 3


මේ ගැන ප්‍රදීප් තබා ඇති සටහනක් ---->  මෙතනින්


ජායාරුප : CCC foundation ෆේස්බුක් පිටුවෙන්!

18 comments:

  1. ස්තුතියි සබිත්.. ඉදිරිපත් කිරීමට. මට පුළුවන් දේ මම කරනවා ඔබගේ ව්‍යායාමය සාර්ථක වෙන්න...

    //උපන්දින සමරන නොකරන එක පෞද්ගලික කැමැත්ත. නමුත් ඔබේ දරුවාගේ උපන්දිනය දවසට හෝ වසරකට කුමක් හෝ දවසක් වෙන්කරගෙන ඔබේ දරුවා අරන් යන්න පිළිකා රෝහලට. අඳ ගොලු බිහිරි පාසලට. රණවිරු සෙවනට. ගිහින් පෙන්නන්න එක දවසක් වැඩිපුර ජිවත් වෙන්න ඔවුන් විදීනා දුක මොන වගේද කියලා.//

    මෙන්න මේ කොටස මම දරුවන්ට පෙන්නවා ඒක විතරක් නෙමෙයි කැම්පස් එකට ගියාම කොයි තරං හොදද කියන එක වගේ ඉගෙනීම ගැන දේත් ළමයින්ට පෙන්නනවා. ඒවා ටාර්ගට් එකක් තියාග්න හොද දේවල්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට. සංවේදී සරල පොලවේ පයගහලා ජීවත්වෙන දිවි පෙවතකට දරුවන් හුරු කිරීම ඉතා වටිනවා.

      Delete
  2. ඉඳලා ඉඳලා ලියලා තියෙන්නේ ඉතාම වටිනා ළිපියක්.. මේ දිනයත් ලංකාවේ දේශපාළඥයෝ තම වාසියට යොදා ගත්තා, අනෝජා වීරසිංහ යොදාගෙන...

    මම මේක මගේ බොගේ උඩින්ම දානවා.... ඒ තරම් වටිනා සේවයක්

    ReplyDelete
    Replies
    1. //මේ දිනයත් ලංකාවේ දේශපාළඥයෝ තම වාසියට යොදා ගත්තා, අනෝජා වීරසිංහ යොදාගෙන.//
      මේ අදහස සමග එකග නොවෙමි. අනෝජා වීරසිංහ ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවට කැදවන ලද්දේ ඇය විෂාදය රෝගයෙන් පෙළෙමින් සත් වරක් සිය දිවි නසාගැනීමට උත්සාහ කල කාන්තාවක් නිසයි. සෞඛ්‍ය අමාත්‍යංශයට අවශ්‍ය වුනේ ඒ වගේ කෙනෙක් වුනත් සියදිවි නසාගන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ නිසා තමන් ගැන අවධානයෙන් ඉන්න කියන පණිවිඩය සමාජයට දෙන්න. නමුත් මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට ඇය කිව්වා “මගේ ගේ ගිණි තියපු එකෙන් මම අත්හැරීම පුරුදු වුනා. තැන්ක් යූ චන්ද්‍රිකා“ කියලා. පස්සේ මාධ්‍ය ලොකු කරගත්තේ ඒ වචනය.

      Delete
    2. මම එකඟයි ප්‍රදීප්ගේ අදහසට. අනෝජා අවංකව දෙයක් කිව්වේ

      Delete
    3. ස්තුතියි අදහස් වලට!
      මාතලන්! ඔව්! ඒ බැනර් එක එල්ලා ගෙන ඒ අයට අවශ්‍ය ප්‍රතිචාරය ලබාදීම බ්ලොග්කරුවන් හැටියට අපට කල හැකි දෙයක්. ඔබේ බ්ලොගය කියන්නේ දිනකට සෑහෙන්න පිරිස්ක් ගැවසෙන තැනක්. ඒ නිසා මගේ මේ සම්පුර්න ලිපියට වඩා යමක් ඔබගේ බැනරයට කල හැකියි!

      අනෝජාගේ සිද්දිය ගැන මා දැනුම්වත් නැහැ. නමුත් බොරදියේ මාලු බාන්න ඉන්න ජඩමාධ්‍යවේදියෝ ගැන නම් මා හොදට දන්නවා. පත්තරේ විකුනගන්න තමන්ට අවශ්‍ය කොටස පමනක් හයිලයිට් කරගන්නවා.

      Delete
    4. මම අනෝජාට වරඩ්ජක් කීවේ නෑ.. ඒත් එයත් දැන ගන්න ඕන විකිනෙන්නේ නැතුව ඉන්න..

      Delete
  3. මානසික අසහනයට හේතු වන්නේ විරැකියාව විතරක්ම නෙමෙයි.. ඒක හරිම සංකීර්ණයි.. එකිනකා තුල ඇතිවන කලකිරිම් වලට විසදුම් හොයනවා වගේම අනෙක් ගැටලු වලටත් ප්‍රාෙයා්ගික විසඳුම් හොයන එක වැදගත්.
    උදාහරන විදියට ලංකාවෙ තරුණ පරුපුර දිශානතියක් නැතුව ඔහේ ඉගෙනගන්නවා. ඉගනගෙන විසිපහ වෙද්දි ප්‍රශ්ණ කරමුලට ආවම ටයි කෝට් දාන ජොබ් හොයනවා. ඔතනදි අපිට මුලින් වැඩකට ඇති දේවල් ඉගෙනගන්න අවශ්‍ය වටපිටාව හැදෙනවා නම් අපේ මානසික පීඩනයෙන් ඉන්න තරුණ කාලෙ සතුටින් ඉන්න පුලුවන් ගොඩක් අයට..

    ReplyDelete
    Replies
    1. ඔව්.මානසික අසහනයට හේතුව විරැකියාව විතරක් නොවෙයි. විරැකියාව කියන්නේ එක හේතුවක් විතරයි මානසික අසහනය ඇති කරන. ඒක මෙහෙම විස්තර කරන්න පුලුවන්. අපි හිතමු රැකියාවක නියුතු පුද්ගලයෙකුගේ ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටෙනවා කියලා. පස්සෙ ඔහු මානසික වැටෙනවා කියලත්. මෙතනදි අදාල පුද්ගලයාට රැකියාවක් තියෙනවා නම් ඔහුට distraction එකක් තියෙනවා. මිනිහට ටාගට් එකජ් තියෙනවා. වැඩට ගිහින් ගෙදර ආවම මිනිහට ඒ ගැන හිතන්න තියෙන වෙලාව අඩු වෙනවා.ඒ නිසා විරැකියාව ලොකු කොටසක් තරුණ අසහනයේ!
      ලංකාවේ අධ්‍යාපනය ගැන කතා කලොත්තොව්,ලංකාවේ තියෙන්නේ need based එහෙම නැත්නම් job oriented ආධ්‍යාපන ක්‍රමයක් නොවෙයි. ඒ නිසා තමයි අවුරුදු 13ක් ඉස්කෝලෙ ගියාට පස්සෙත් ආයි අර කෝස් මේ කෝස් කියාගෙන දුවන්නේ.

      Delete
  4. ඉතාම කාලෝචිත‬ ලිපියක් සාබිත්.

    මට හිතාගන්න බැරි ලංකාවේ නම් සිය දිවි නසාගැනීමට හිතෙන එක එච්චර පුදුමයක් නෙවෙයි. පොලීසියකට ගියත්, රජයේ ආයතනයකට ගියත්, පත්තරයක් බැලුවත්, දේශපාලනය හා දේශපාලකයන්ගේ ක්‍රියාකාරකම් බැලුවත් සියදිවි නසාගන්න හිතෙනවා.

    නමුත් ග්‍රීන්ලන්තය මොකද ඉහලින්ම තියෙන්නේ? කොරියාව, ජපානය ගැන නම් ඒ තියෙන ස්ට්‍රෙස් එකට කියමුකෝ. මම හිතන්නේ ග්‍රීන්ලන්තය ජීවත්වෙන්න ඉතාම සුදුසු රටවල් අතරට වැටෙන එකක්.

    ඒ එක්කම, ඔය සංඛාලේඛණ ගැන නම් මගේ තිබිච්ච විශ්වාසය බිඳ වැටිලා හුඟක් කල්. මම අදහස් කරන්නේ ලංකාවේ තත්වය යහපත් කියන එක හෙම නෙවෙයි. ලංකාව සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවය ඉහලම රටක් හැටියට ප්‍රසිද්ධ වෙලා තිබ්බේ අදක ඊයෙක් ඉඳන් නෙවෙයි.

    සාබිත්, මම ඔය ආයතනයේ දැන්වීම කාලෙක ඉඳන් දැකලා තියෙන්වද මන්දා. තව සුමිත්‍රයෝ කියලත් සංවිධානයක් තිබුනා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. ග්‍රීන්ලන්තය ලෝකයේ ජීවත්වන්න ඉතාම සුදුසු රටක් ලෙසයි සැලකෙන්නේ. ඒ පරිසරය සහ දේශපාලන වටපිටාව, අපරාධ දර්ශක ආදිය සැලකිල්ලට අරගෙන. මං කලින් කිව්වා වගේ මේක multi factorial!
      මං පොඩ්ඩක් හොයල බැලුවා! this is what Wikipedia says;

      "Several reasons are blamed for Greenland's high rate of suicide, including alcoholism, depression, poverty, conflict-ridden relationship with partner, dysfunctional parental homes, etc. According to a report published in the Science Daily in 2009, the suicide rate in Greenland increases during the summer. Researchers have blamed insomnia caused by incessant daylight.
      Culture clash between the traditional culture and modern Western culture is also assumed to be a contributing factor."

      Delete
  5. වටිනා ලිපියක් සාබිත්. ඉහලින්ම අගයකරමි. සුබපැතුම්.

    සියදිවි නසාගැනීම වැලැක්වීමේ දිනය වෙනුවෙන් මමත් පෝස්ට් එකක් ලිව්වා. නිදහස් වෙලාවක ඇවිත් යන්න.
    http://pradeepot.blogspot.com/2013/09/suicide2.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රදීප්. මානසික සෞඛ්‍ය කෙරෙහි ඔබ කරන මෙහෙය මං ඇත්තටම අගේ කරනවා. ඔබේ වෘත්තීමය අත්දැකීම් එක්ක ඔබ ලියන කියන දේ තුල සෑහෙන්න වටිනාකමක් තියෙනවා!

      Delete
  6. විරැකියාව ජනලේඛන හා සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුවෙන් මනින්නේ මනින දවසට ඉස්සෙල්ලා සතියේ එක පැයක් හරි වැඩ කරලා නම් ඒ පුද්ගලයා විරැකියාවෙන් තොරයි කියලා. එකටද විරැකියාවෙන්තොරයි කියන්නේ කියලා ලොකු අවුලක් තියෙනවා. UN එකේ මනිනවා ඇත්තේ අනිවාර්යෙන්ම international stranded එකකට. ඉතින් ලංකාවේ index වලයි UN index වලයි වෙනසක් තියෙන එක අහන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්. ස්වාධීන ආයතනයකින් කරන මැනීම් 'ගොඩක් වෙලාවට' සත්‍ය දත්තවලට ආසන්නයි!

      Delete
  7. මිනිස්සුන්ට බොහෝ දෙවල් ගැන ලොකු කලකිරීමක් තියෙන්නේ.ඒ හේතුවලට ජීවත්වෙලා ඉන්න කාලයතුල විසඳුමක් ලැබෙන එකක් නැතිවෙයි කියලා හිතෙනවා.මිනිස්සුත් එක්ක කතාකරනකොට ඒ බව තේරෙනවා.පෞද්ගලික ප්‍රශ්ණ සහ සමාජ ගැටලු යන දෙපැත්තෙම්ම බැට කනවා.බොහෝ රටවල්වල Counselling වගේ ක්‍රමවත් වැඩ පිලිවෙලක් තමයි වඩාත් සුදුසු කියලා හිතනවා.මෙවැනි අය දෙස සෝදිසියෙන් සිටීමත් සමහර රටවල විධිමත්ව සිදුවෙනවා.

    ReplyDelete
  8. මනුස්සයකුගෙන් තව මනුස්සයෙකුට ලැබෙන්න ඕන ගෞරවය ලැබේ නම් මේ තත්වය ගොඩක් අවම කරගත හැකියි..
    අනිත් අතට පොඩි කාලේ ඉඳන්ම දරාගැනීමේ ශක්තිය වැඩි කරන්න පුරුදු කරන්න පුළුවන් නම් මිනිස්සු ජීවතේ විඳවන්නැතිව විඳින්න පුරුදුවේවි..
    ස්තුතියි සාබිත් සටහනට..

    ReplyDelete
  9. ස්තූතියි සබීත් මල්ලි... ඇත්තටම සියලු දෙනා සිටින්නේ මානසික ආතතියෙන්... රෝහල් ගත වන රෝගීන් පවා අප එක්ක හොරෙන් හෝ ඔවුන්ගේ දුක පවසන්නේ ඒ ආතතියෙන් නිදහස් වීමට. පාසැලකවත්, රැකියා ස්ථානයකවත් කවුන්සෙලින් හෝ හෙල්ප් ඩෙස්ක් එකක් ක්‍රියාත්මක වෙන්නේ ඉතා ස්වල්ප තැන් කිහිපයක පමණයි. ගැටළු වලට තනිව විසඳුම් සොයන්නට ගිහින් බොහෝ විට හිත රෝගී කරගෙනයි නතර වෙන්නේ... අපි සේවය කරන ක්ෂේත්‍රයේත් ආතතිය බහුලයි. නමුත් කතා කරන්න දුක/ප්‍රශ්ණ/ගැටළු නිරාකරණය කරගන්න උදව්වක් ලැබෙන තැනක් නෑ. මනෝ උපදේශනය කෙරෙහි සමාජයේ ඇති භීතිකාවත් ප්‍රධාන ගැටළුවක්.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...