Thursday, March 7, 2013

වීරයෝ සහ ද්‍රෝහියෝ II -Sri Lanka Cricket (Insight in to the contracts)

cricnama.com

     මේ ලියන්න හදන්නේ මාලිංග ගැන නොවේ. මේ ලියන්න හදන්නේ සිංහල බ්ලොග් අවකාශය තුල මේ වෙද්දී ලියැවී තිබිය යුතු නමුත් ලිය වී නැති ආන්දෝලනාත්මක ක්‍රිකට් කොන්ත්‍රාත්තුව තුලට කෙරෙන එබී බැල්මකි.
සිංහල බ්ලොග් අවකාශයේ ක්‍රීඩාව ගැන ලියැවෙන විශේෂයෙන් සිංහලෙන් ලියැවෙන වෙබ්/බ්ලොග් අඩවි කිහිපයක් පවතී. නමුත් කණගාටුදායකවව වුවත් පැවසිය යුතුව ඇත්තේ ඒවා තුලින් පාඨකයාගේ අපේක්ෂාවන් මුදුන් පත් නොවනා බවයි. නම සදහන් කිරීමට අකමැති වූවත් ඔතනින් එක අඩවියක් කරන්නේ ඉතා සිත් ඇදගන්නා සුලු,ආවේගයන් ඇති කරන,කුතුහලය දනවන මාතෘකා තමන්ගේ ලිපි වලට යොදා පාඨකයින් ගෙන්වා ගෙන ඔවුන් නොමග ඇරීමයි. ඒ අඩවියේ ඇතැම් තොරතුරු වල විශ්වාසනීයත්වය බිලිබඳවද (reliability) ගැටලු පවතී.

     ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවූවත් ලංකාවේ නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය ක්‍රීඩාව ක්‍රිකට්ය. එය අප හොඳින් දන්නා සහ හොඳින් කරනා එකම ක්‍රීඩාව බව අලුතෙන් කිව යුතු නොවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෘත්තීමය ක්‍රීඩකයින් පිරිසකි. ඉස්සර වාගේ සහ තවමත් ඇතැම් රටවල වාගේ පාර්ට් ටයිම් ප්ලෙයර්ස්ලා දැන් SLC* හි නැත.

සෑම වසරකම වාගේ කොන්ත්‍රාත්තුව ගැන ප්‍රශ්න අපට ඇසෙන්නට ලැබේ. එය පසුගිය වසරේ මෙන්ම මෙම වසරේද නැවත මතුව තිබේ. පසුගිය වසරේ අප තෝරා ගත්තේ පඩි නොගෙවා සෙල්ලම් කරවනවා යැයි පවසමින් පාලනාධිකාරයිට දොස් තැබිමේ ක්‍රමවේදයයි. නමුත් මෙවර අප බොහෝ දෙනෙක් ක්‍රීඩකයින් මුදල් පසුපස යනවා යැයි කියමින් ඔවුන්ට දොස් තැබීමේ කාර්‍ය්යෙහි නියැලී සිටී.

     ඇත්තටම ක්‍රීඩකයින් මෙම කොන්ත්‍රාත්තුව අත්සන් තැබීමට විරෝධය පල කලේ ඇයි කියා දොස් දෙවොල් තැබීමට කලින් සොයා බලන්නට සහ එය වාර්තා කරන්නට ජනමාධ්‍යකරුවා හෝ බලෙන් ඔලුවලට අදහස් ඔබ්බවන ෆේස්බුක්බුක් වීරයෝ උනන්දු වූයේ වත් මහන්සිවූයේ වත් නැත.

ආන්දෝලනයට තුඩු දුන් කොන්ත්‍රාත් කරුණු කිහිපය පහත වේ.


  1.  ICC තරඟ වලින් උපයා ගන්නා ආදායමෙන් 25%ක කොටසක් ක්‍රීඩකයින්ට ලබාදීමේ මෙතෙක් පැවති වැඩපිලිවෙල කප්පාදු කිරීම.
  2. IPL* ක්‍රීඩාකරන ක්‍රීඩකයන් එම තරඟාවලිය තුලදී එම කණ්ඩායම සමග සිටිනතාක් කල් සහ එම ක්‍රීඩකයාගේ SLC මගින් ගෙවන වැටුප් ලබා නොදීම.
  3. කණ්ඩායමේ ICC ranking එක මත පිහිටා ගෙවීම් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම
  4. කණ්ඩායමේ බිරින්දෑ වරුන්ට වසරකට වරක් SLC ආයතනයේ වියදමින් ලබාදෙන ව්‍යාපාරික පංතියේ ටිකට්පත අවලංගු කිරීම
මෙහි 3 සහ 4 කොන්දේසි කෙරෙහි ක්‍රිඩකයන්ගෙන් සැලකිය යුතු විරෝධයක් එල්ල වුයේ නැති මුත් 1 සහ 2 කරුණු මත පිහිටමින් ගිවිසුම් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීමේ සාමුහික තීරණයකට එලැඹුනා.
අප දැන් ඒ කොන්දේසි දෙක කෙරෙහි අවධානය යොමු කරමු!

1. ICC තරඟ ආදායමෙන් 25%ක කොටසක් ක්‍රීඩකයින්ට ලබාදීමේ වැඩපිලිවෙල කප්පාදු කිරීම.
     ICC තරඟ අතරතුර ඒ ලැබෙන ආදයමෙන් 25%ක් ක්‍රීඩකයින්ට ලබාදීමේ වැඩපිලිවෙල ඇරඹුනේ 2003 වසරේදී බව සඳහන්. එදා පටන් අද දක්වා පැවති ICC තරඟ සියල්ලකම පාහේ අපේ කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා හෝ පැමිනෙන්නට සමත් වී තිබෙන නිසා එහි සාධාරණත්වය කිසි කෙනෙකුට ප්‍රශ්ණ කරන්නට බැහැ.
     ICC තරඟ කාලය තුල ක්‍රීඩකයන්ව සහ ඔවුන්ගේ ඡායාරූප වාණිජ අරමුනු සදහා යොදා ගැනිමේ සම්පූර්ණ අයිතිය ICC යට හිමි වෙනවා. පසුගිය T20 ලෝක කුසලාන සමයේ Icon Player ලෙස ලසිත් මාලිංගව ඔවුන් යොදා ගත් හැටි මතකයේ ඇතැයි සිතනවා. මෙතනින් තවත් වැදගත් වන්නේ අදාල ක්‍රීඩකයන් පෞද්ගලිකව අත්සන් කල වෙලඳ ගිවිසුම් මේ ආලයේ අක්‍රීය වීමයි.  එනම් ඒ කාලය තුල පෞද්ගලික ගිවිසුම්ගත ක්‍රීඩකයින්ට අදාල ක්‍රීඩකයා පෙනී සිටින දැන්වීම් ආදිය පලකරන්නට/ විකාශය කරන්නට බැහැ,
උදා :- C නම් කෝලා වර්ගය පෙරේරා නම් ක්‍රීඩකයා සමග ගිවිසුම් ගතවෙනවා.P නම් කෝලා වර්ගය ICCයේ නිල අනුග්‍රාහකයෙක්. එවිට C කෝලා ප්‍රවර්ධනයට අදාල ක්‍රිඩකයා යොදා ගැනීමේ හැකියාව අදාල තරඟාවලිය අවසාන වනතෙක් C කෝලා ආයතනයට අහිමි වෙනවා!
     අනික ICC තරඟයක වාණිජ සාර්ථකත්වය මුලුමනින්ම රැදී පවතින්නේ අදාල ක්‍රීඩකයන්ගේ නම් සහ ප්‍රතිරූපයන් මත. උදාහරනයක් ලෙස දෙවන පෙල කණ්ඩායමක් තරඟාවලියක් සදහා යොමු කලවිට ලැබෙන ආදායම සහ ෆුල් සයිඩ් එක ක්‍රීඩා කරද්දි ලැබෙන ආදායම් අතර ලොකු වෙනසක් තියෙන්නට පුලුවන්. ටිකට් පත් ආදායම පමනක් නොවේ රූපවාහිනී විකාශන අයිතීන් සදහා ගෙවන මුදලේ උනත්. කොටින්ම සරලවම පැවසුවහොත් ICC තරඟාවලියක සාර්ථකත්වය පැහැදිලිවම රඳා පවතින්නේ ක්‍රීඩකයින් මත.
     මං හිතන විදිහට නම් 25%ක් නොවේ ඊටත් වැඩි අයිතියක් ක්‍රීඩකයින්ට තිබෙනවා. එය මුලුමනින්ම කප්පාදු කිරීමේ අන්තනෝමතික ක්‍රියා කලාපයට එරෙහි වීම සමග මං එකඟයි!

2. IPL ක්‍රීඩාකරන ක්‍රීඩකයන් එම තරඟාවලිය තුලදී එම කණ්ඩායම සමග සිටිනතාක් එම ක්‍රීඩකයාට SLC මගින් ගෙවන වැටුප් ලබා නොදීම.

මෙයත් මා දකින්නේ ක්‍රිකට් පරිපාලකයන්ගේ කුට්ටියම කඩා ගැනීමේ වැඩපිලිවෙලක්.
කොහොමටත් වර්තමානයේ ක්‍රීඩකයින්ගේ IPL ගිවිසුම් ගත මුදලින් 10%ක් ක්‍රිකට් පාලක මණ්ඩලයට බැරවෙන බව ඔබ දන්නවාද?
     එසේ තිබියදීත් ක්‍රීඩකයින් තමන්ගේ  ජාතික වගකීම් වලින් නිදහස් කාලය වෙනත් කණ්ඩායමක් වෙනුවෙන ක්‍රිඩා කිරීම නිසා ඔහුට අදාල වැටුප් කප්පාදු කිරීම කොතරම් අසාධාරනද? ක්‍රීඩකයින් මේ කාලය තුල සිටින්නේ ජාතික වගකීම් නැතිව. ( ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් සහ අනෙක් බලපෑම් වලට යටත්ව ඒ කාලය නිදහස්ව තියන්නට අවශ්‍ය වටපිටාව නිර්මානය කරන්නෙත් ඔය කියන පාලකයන්ම තමයි)
     ඔවුන් ජාතික වගකීම් පැහැර හරිමින් IPL සමග සිටින්නට තෝරා ගන්නවා නම් අන්න එතනදි මේ කියන කොන්දේසිය එක්කරන්න සම්පූර්න අයිතිය පාලක මණ්ඩලයට තිබෙනවා. නමුත් ජාතික තරඟ තිබේ නම් IPL තරඟ අතහැර ජාතික කණ්ඩායමට එක් වීමට මේ ක්‍රීඩකයින් බැදී සිටින නිසා මෙවන් කොන්දේසියක් පැනවීම ඉතා අසාධාරනයි!
     මේක හරියට නිවාඩුකාලයේ ටියුෂන් තියන නිසා ගුරුවරයෙක්ට වැටුප් දීම ප්‍රතික්ෂේප කරනවා වගේ වැඩක්!
මේ මගින් ක්‍රීඩකයෙකුට ජාතික කොන්ත්‍රාත්තුවෙන් 16.4% කට ආසන්න මුදලක් අහිමි වෙන බව සදහන්!

මෙතනදි ක්‍රිකට් පරිපාලනය 10%ත් කඩා ගන්න ගමන් ජාතික කොන්ත්‍රාත්තුවෙනුත් 16.4%ක් කඩාගෙන සම්පූර්ණ කුට්ටියම තමන්ගේ අතට ගන්න උත්සහ කරන බවකුයි පෙනෙන්නේ!

ක්‍රිකට් පරිපාලනය පැත්තෙන් කියවෙන්නේ අන්තර්සමාජ, කාන්තා සහ පාසල් ක්‍රිකට් නගා සිටුවිමට සහ අනෙකුත් වියදම් කලමණාකරනය කිරිමට මෙලෙස ඉතුරු කරගන්නා මුදල් යොදා ගැනීමට බලාපොර්තුවෙන බවක්!
www.smh.com.au

     ලංකාවේ දූෂිතම ආයතන අතරින් ක්‍රිකට් ආයතනය ඉහලින්ම රැඳි ඉන්න බව නොරහසක්.  SLC ආයතනය ආ මෙලෙස පාඩු ලබනවා නම් එහි සම්පූර්න වගකීම බාරගත යුත්තේ පරිපාලකයින් මිසක් ක්‍රීඩකයින් නෙවෙයි. මාසික පඩිය ලක්ෂ ගනනින් ලබා ගන්න ගමන් අනෙකුත් වරප්‍රසාද ලබමින් දන්දෙනියලා, ඩී ඇස් ලා  ඔවුන්ගේ ඥාති හිතමිත්‍රයින්, පෙම්වතියන් හොර අඹුවන් SLC තුලට වද්දාගෙන ඔවුන්ටද නැති රැකියා ඇති කරමින් ඒවාට පඩි ගෙවමින් කූඩැල්ලන් විදිහට SLC හි සාරා උරා බීපු ආකාරය අපිට නම් රහසක් නෙවෙයි. මුදල් කප්පාදු කරනවා නම් කලයුත්තේ බලධාරීන්ගේ මිසක් ක්‍රීඩකයින්ගේ නොවෙයි. පරිපාලකයින් යැපෙන්නේ සහ ජීවත් වන්නේ ක්‍රීඩකයින්මත සහ ක්‍රීඩාව උපයාදෙන මුදල් මත මිසක,ක්‍රීඩකයින් පරිපාලකයින් මත යැපෙන්නේ නැති බව පරිපාලකයින් තේරුම් ගත යුතු යථාර්තයක්!

     ක්‍රීඩකයන්ගේ ආදායම මෙච්චරයි,අච්චරයි කියමින් ඒ දෙස බලා මේ දේවල් සාධාරණිකරනය කිරීමට ඇතැම් පිරිස් උත්සහ ගන්නා බව දක්නට ලැබෙනවා. ඔවුන් උපයාගන්න මුදල මිලියන හෝ වේවා බිලියන හෝ වේවා ඒවා අදාල ක්‍රීඩකයාගේ දක්ෂතාවය මත සහ ඔහුගේ වටිනාකම මත ඔහු උපයාගන්නා මුදල්. ඒ නිසා කුහක කම් පසෙකලා මධ්‍යස්ථව මේ ප්‍රශ්න දෙස බැලීම කලයුතුයි. අනෙක ඔවුන් කරන්නේ රැකියාවක් මිසක ජාතික සේවයක් නොවන බවත් අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා තමන්ගේ වැටුප් සහ ඉල්ලීම් ගැන හිතන්නේ නැතිව 'රට' වෙනුවෙන් ඔවුන් සේවය කල යුතුයි කියා කෙනෙක් සිතනවා නම් ඔවුන්ව මඩු වලිගයකිනුයි තැලි යුත්තේ. රාජ්‍ය සේවකයෙකුට වේතනා, දීමනා පැත්තක තියලා  'රට' වෙනුවෙන් වැඩ කරන්න කිව්වොත් පැයක්වත් වැඩ කරයිද?
   
     අපේ බදු මුදල් වලින් පිස්සු නටන සහ නඩත්තුවෙන ආණ්ඩුවක් සහ මෙගා කැබිනට් එකක් තියෙන රටක, අපේ මුදල් උන්ගේ වගේ හිතාගෙන ඒවා පරිභෝජනය කරමින් අපිටම සද්දෙ දාන, බදු ගෙවන  ජනතාවට වග නොකියන සහ වග කියන්න ලෑස්ති නැති ඇමැති මණ්ඩලයකට එරෙහිව නැගි හිටින්න අපට කොන්ද පන නැති උනාට, උන් මහන්සිවෙලා හම්බකරන සල්ලි වලින් නඩත්තු වෙලා ඒවා නැති බංගස්තානකරන පාලනාධිකාරියකට එරෙහිව නැගී සිටින්න උත්සහකරන ක්‍රීඩකයින්ව අපි අගේ කල යුතුයි.
ආතක් භූතක් දන්නේ නැතිව උන්වත් ද්‍රොහියෝ ගානට දාන්නේ හදන අපි ගැනමයි අපි ලැජ්ජ විය යුත්තේ!

     තමන්ගේ වියදම් නාස්තිය අවම කරමින්, අන්තර් සමාජ තරඟ ප්‍රේක්ෂක හිතවාදි කිරීම තුලින් සහ ඒ තුලට අනුග්‍රහකයින් ඈඳා ගැනීමට උත්සහ කිරීම තුලින් SLC තුලට අනුබද්ධ අනෙකුත් ක්‍රිකට් ක්‍රීඩා කරන කොටස් නගා සිටුවිය හැකියි. එහෙම කරලත් බැරි වුන දවසකට ශයිලොක් ලා විදියට කුට්ටියම ඉල්ලන ක්‍රමවේදයකට යන්නෙ නැතුව දෙපැත්තටම වාසි වෙන වැඩපිලිවෙලකට එකඟ වෙන එක දෙගොල්ලොන්ගෙම වගකීමක්.

එහෙම නොකර සරදියෙල් ක්‍රමයකින් මේවා විසඳිය නොහැකි යැයි තේරුම් ගැනීමට නොහැකි පාලකයින් සහ "උන්ට බැරිනම් වෙන උන් හොයා ගනින්" යැයි පවසමින් සරම උස්සගෙන නාවලපිටියේ ඡන්ද දිනපු සිස්ටම් එකට  ප්‍රශ්න විසඳන්න පුලුවන් කියලා හිතාගෙන ඉන්න කට හැකර ඇමැත්තෙක් සිටීම ඇත්තටම ජාතියේ අවාසනාවක්!

තෙල් මිල මේ ලඟකදී වැඩි වුන බව මතකද?
ගෑස් මිල මාස කිහිපයකට කලින් වැඩිවුනා මතකද?
එතකොට ජිනීවා?
සැබෑ ද්‍රෝහියන් පසෙක ඉඳිද්දී උන් ගැන කතා කරන්නට ඇති නොහැකියාවට ගෙදර ඇවිත් මුවහමට තලනවා වගේ මේ දවස්වල මාලිංගලා ඇතුලු ක්‍රිකට්ද්‍රෝහියන්ට එලව එලව ගහන  ජඩමාධ්‍යවේදීන්(බිස්නස් කාරයන්), ෆේස්බුක් වීරයන් සහ අවස්තාවාදී දේශපාලුවන් නූල අදින අදින විදිහට රූකඩ වගේ නටන පරිකල්පන ශක්තියක් නැති ජනතාවක් මේ රටේ සිටීම ඊටත් වඩා අවාසනාවක්!


පඩි නැතුව මේ දේශද්‍රෝහීන් ක්‍රිකට් ගැහුවා ඔබට මතකද? නෑ? මටත් මතක නෑ!
                                                                             ෴ වරුණ තෙන්නකෝන් (Twitter)෴

මීට කලින් මේවා දැකලා නැද්ද? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න!
                                                                             ෴ ජනමහයා෴


SLC - Sri Lankan Cricket
IPL  - Indian Premier League

34 comments:

  1. Replies
    1. මෙන්න ඇත්ත කියවලම දැනගන්න කරුණාකර කියවන්න​

      Delete
    2. මේ ගැන බුවාලා වගේ අය ලියයි කියලා බලාපොරොත්තු උනා. කවුරුවත් ලියන පාටක් නැහැයි කියලා හිතුන නිසා මංම ලියාල දැම්මා!

      Delete
  2. ශ්‍රී ලංකා ක්‍රිකට් එක සල්ලි නාස්ති කරන හැටි මං ටී 20 වර්ල්ඩ් කප් එක අතර තුර හොදටම දැක්කා..
    ඒ විතරක් නෙමේ අපිට ලැබෙන්න තිබ්බ අයි.සී.සී එකෙන් ලබා දුන්නු නිල ඇදුම් සපත්තු පවා මේ යක්කු හොරකං කරා...
    මහ ජරාම ජරා මිනිස්සු ටිකක් ඕකේ ඉන්නේ...
    හැම එකෙංම ගසා කෑම තමා කරන්නේ....

    ReplyDelete
    Replies
    1. මටත් ආරංචි උනා වොලන්ටියර්ස්ලට හම්බෙන්න තිබුන දේවල් මාටිය ගහපු සීන් එකක්. ඒ ටිකත් අඳුරන අය අතරේ බෙදා ගන්න ඇති කවුරු කවුරුත් !

      Delete
  3. අපේ රටේ ඉන්නෙ ජනමාධ්‍යවේදියෝ (journalists) නෙවෙයි. වාර්තාකාරයෝ (reporters).... මුංට වැරදිලා නම වෙනස් කරගෙන...
    රටේ දේවල් මාධ්‍යකරණයකට ලක්වෙන්නේ හෝ විමසුමකට (analysis) ලක්වන්නෙ නැහැ. වාර්තාකරණයක් (reporting) විතරයි සිදු වෙන්නෙ... මොකද කියනවා නම් අපේ ජනතාවට විමසුමකට ලක් වූ ප්‍රවෘත්තියකට වඩා වාර්තාවක් දිරවනවා. එහෙමයි අපේ මාධ්‍ය ජනතාව වෙත සමීප වෙන්නෙ...
    ඕක වෙනස් කරන්න අමාරුයි මොකද මාධ්‍ය ආයතනවල එකම අභිප්‍රාය ලාභ ඉපැයීම මිසක් ජනතාවට හොඳ දෙයක් දෙන එක නොවන නිසා.

    ReplyDelete
    Replies
    1. ++++++
      ලංකාවේ මාධ්‍ය හැසිරෙන හැටි සරලව සංක්ෂිප්තව කියන්න පුලුවන් මීට වඩා හොඳ විදිහක් නැහැ ඇල්. අනික analyse කරන්න තරම් පරිකල්පන හැකියාවකුත් දැන් අපේ මිනිස්සුන්ට නැහැ!

      Delete
  4. සම්පූර්ණ ඇත්ත..

    ඇයි අපි ඔවුන්ගෙන් විතරක් පඩි නැතිව වැඩ කිරීමක් බලාපොරොත්තු වෙන්නෙ ? ක්‍රීඩකයන්ගෙ ක්‍රියාකලාපය මමනම් සම්පූර්ණයෙන් අනුමත කරනවා.. ( මාලිංගගෙ බලු කට නෙමේ ). අපිත් සූදානම් නෑනේ එක පැයක්වත් පඩි නැතුව වැඩ කරන්න..

    හැම එකක්ම මේ ජඩ දේශපාලනයෙන් පාලනය කරන්න යනවයින් තමා මේ ඔක්කොම අවුල් වියවුල්.. එහෙම කරන්න තිබුනා මොලේ කලඳක් හරි තියන ඇමතිලා සෙට් එකක් හිටියනම්.. එකෙක් ඉන්නවද ආසාවට..

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් පරිපාලන ආයතන දේශපාලනයෙන් තොර විය යුතු යැයි ICC යෝජනාවක් ලඟකදි ගෙනාවා වගේ මතකයි. ඕවා කොයි තරම් දුරට ක්‍රියාත්මක වෙයිද කියන එක තමයි ප්‍රශ්නෙ.

      Delete
  5. 100% එකඟයි සබිත්. මා දුටු අනර්ඝතම ළිපිය මෙයයි. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මාෆියාව, එනම් කොතරම් ෆේල් උනත් එකම සෙට් එකක් ක්‍රීඩා කිරීම, නවක ක්‍රීඩකයින්ට අවස්ථාවන් ලබා නොදීම. කන්ඩායමට අළුතෙන් එකවන් ක්‍රීඩකයින්ට තරඟ ලබා නොදීම් ෆේල් වී එලවන තෙක් කන්ඩායමේ රැදී සිටිම හා නායකයාගේ අසීමිත බලය ගැනත් ලියන්නෙ නම් අගේ කොට සලකමි.

    ReplyDelete
    Replies
    1. ඒවා ගැන මගේ මතය ලිවිය හැකියි. නමුත් අභ්‍යන්තරයෙ සිදුවන සිදුවීම් හා ඒ ආශ්‍රිත කරුණු ගැන දැනගන්න වගේම ඒවායෙ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගන්න මූලාශ්‍රවත් හැකියාවක් වත් මට නැහැ. ඒ ගැන ලියනවා නම් පොඩ්ඩක් රිසර්ච් කරන්න වෙනවා :)

      Delete
    2. රීසච් ඕන නෑ.. පේන දේ ගැන උඹේ මතය ලිපන් මචෝ.. එලවනකම් ඉඳලා, අනේ මම මේ අස්වෙන්න හිටියේ, තරුණයන්ට තැන දීලා වගේ පොර ටෝක් ගැන එහෙම...

      Delete
  6. සබිත්,
    හරිම ඇත්ත. මමත් මේකට එකඟයි. මුහුණු පොතේත් මම මේ ගැන ලිව්වා. ඔබ හරි.

    ReplyDelete
  7. සනා මොන මගුලක් නටන්න හදනවද මට තේරෙන්නෙ නැහැ.

    ඌ ටිකක් අමුතු මිනිහෙක්. එච්චරයි මට දැනට තේරෙන්නේ

    ජය වේවා සබියා !

    ReplyDelete
    Replies
    1. ඌට වඩා ඊලඟට ඡන්දෙන් පත් වෙන එකා මොනා කරයිද දන්නෑ. දැනටමත් කචල් පටන් අරං නාම යෝජනා දෙද්දිම. සනාට පරිපාලනය පැත්තෙන් ලොකු දෙයක් කරන්න බැහැ. මිනිහ සභාපති තේරීම් කමිටුවට නෙ.

      Delete
  8. ඇත්තෙන්ම ඔබගේ පැහැදිලි කිරීම වටිනවා. නමුත්, මා මාධ්‍ය ආවරණය කිරීමට පිවිසීම පිළිබඳ විවේචනය කරනුයේ නැහැ. එහෙත්, එය විකාශනය වූ අයුරු සහ ස්වභාවය වැරැදියි. සත්‍ය ජනතාවගෙන් වසන් කළ යුතු වනුයේ ද නැත.

    ReplyDelete
    Replies
    1. අද කාලේ මාධ්‍ය වේදියෝ කරන්නේ තමන් හරි කියලා හිතන දේ ලියන එක. වෙන්න ඕන ඒක නෙවෙයි. දත්ත සහ තොරතුරු වාර්තා කරලා ඒක කියවන පාඨකයට අවස්ථාව දෙන්න ඕන ඒක ඇනලයිස් කරන්න. අර ඇල් කිව්වා වගේ අද ඉන්නේ journalist ල නෙවෙයි reporters ල..

      Delete
  9. කතාව ගොඩාක් ඇත්ත පිලිගන්නවා. තමන්ට අසාධාරණයක් සිද්ද වෙද්දී හඬ නගන එක හැම කෙනෙක්ගෙම යුතුකමක්.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම! ස්තුතියි මචං අදහසට!

      Delete
  10. මලින්ගගේත් වරදක් මමනම් කියන්නේ නැහැ.....මිනිහට බෙහෙත් ගන්න සල්ලි දුන්නේ නැති Cricket Bordඑකනේ......බෝර්ඩ් එකේ ඔක්කොම හොරු......

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. වෙලා තියෙන්නේ මේවා මිනිස්සුන්ට හරි ඉක්මනට අමතක වෙනවා!

      Delete
  11. බොහොම වැදගත් ලිපියක් සාබිත්. ඇත්තෙන්ම මට හිතෙන්නේ මාලිංගගේ සිදුවීම සිද්ධනොවුනා නම් අද මාධ්‍ය ගන්නේ ක්‍රීඩකයන්ගේ පැත්ත. මාලිංගගේ සිදුවීම මත සමස්ථ ක්‍රීඩකයන්ට ඔවුන් පහර එල්ල කරනවා නම් එයින් ඔවුන්ගේ තත්වය පැහැදිලියි.

    4 වැනි සංශෝධනය පවා සාධාරණයි කියලා මං හිතන්නෙ නෑ. පවුලෙන් ඈත්වී බොහෝ කාලයක් ඉන්න වෙන බොහෝ රැකියාවකම වගේ තමන්ට හෝ සහකරුට ගුවන් ටිකට්පත් ලබාදීම සිද්ධ කරනවා. මාස කීපයක් ගතවන සංචාර වලදි මේ පහසුකම ක්‍රීඩකයන්ට ලබානොදීම අසාධාරණයි කියලා මට හිතෙන්නේ.

    මාලිංගගේ ක්‍රියා කලාපය වැරදියි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ එතන නෙමෙයි, අපිට එතනින් එහාට සැබෑ ප්‍රශ්නය අමතක වෙනවා. සියලුම ක්‍රීඩකයන් මුදල් පසු පස යන අමනුස්සයන් පිරිසක් වෙනවා. මාලිංගගේ හැසිරීම විවේචනයකරන අතර ක්‍රීඩකයන්ගේ ප්‍රශ්නය සැබෑලෙස සාකච්ඡාකරන්න තරම් මුහුකුරා ගිය මාධ්‍ය අද නෑ... ඒ නිසා ඔබගේ ලිපිය ඉතාම වැදගත්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මිනිස්සු/මාධ්‍ය ගිවිසුම් අත්සන් කරන්නෙ නෑ කියලා ක්‍රීඩකයින්ව එලව එලව විවේචනය කලා මිසක් ඇයි අත්සන් කරන්න බැහැ කියන්නේ කියන එක ගැන කතා කලේ නෑ. හරියට අර පොල් කේස් එකේදි පොල් වත්තේ එකාට හැමෝම අල්ලගෙන බැන්න වාගේ! ඔව්.4 වෙනි කොන්දේසියත් ඒ හැටි අසාධාරනයක් නැහැ. අනම් මනම් වියදම් එක්ක බලද්දි මං හිතන්නේ නෑ ඒක ලොකු issue එකක් වෙයි කියල. ඇරත් අවුරුද්දටම එක පාරයි නෙ!

      Delete
  12. මෙම නඩුවට ඩිල්ෂාන්ගේ වත්කම් සම්බන්ධයෙන් ප්‍රකාශයක්ද අමුණා තිබූ අතර එහි දැක්වෙන පරිදි තිලකරත්න ඩිල්ෂාන්ගේ
    ගේදොර ඉඩකඩම්වල වත්කම රුපියල් ලක්ෂ 2500 කි.
    ඔහුගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 120 කි.
    ශ්‍රීලංකා ක්‍රිකට් මගින් වසරකට ආදායම රුපියල් ලක්ෂ 1260 කි.
    2008-12 සඳහා අයිපීඑල් කොන්ත්‍රාත්තුව රුපියල් ලක්ෂ 3000 කි.
    2011 ලෝක කුසලානය රුපියල් ලක්ෂ 500 කි.
    2012 20-20 ලෝක කුසලානයෙන් ලක්ෂ 180 කි.
    2012 එස්එල්පීඑල් මගින් ලක්ෂ 62කි.
    මාස් හෝල්ඩින් ආයතනයෙන් මාසිකව ලක්ෂ එකහමාරකි


    (උපුටා ගැනීමකි)

    ReplyDelete
    Replies
    1. නමුත් මේ අයගේ තරඟවලට වියදම් කරන්නේ, රට යවන්නේ සහ අනෙකුත් සියලු දේවල්ගේ බර පැන දරන්නේ ජනතාව.
      කවුද?. ජනතාව.

      Delete
    2. වර්ණා : මේ අය මීට වැඩිය ඉපැයූවත් ඒවා මේ අයගේ මුද්ල් නේද? මේ අයගේ මහන්සිය සහ දක්ෂතා නිසා උපයන මුදල් නේද? ඒවා බලෙන් අරං වෙන අයට වියදම් කරන එක සාධාරන යැයි හිතනවද?

      ඇනෝ : මේ අයගේ තරඟ සදහා අපි ඍජු වියදමක් කියලා කරන්නේ ටිකට් පතක් මිලට ගන්න එක විතරයි. ඒක ඒ අය අපිට සපයන entertainment එකට අපි ගෙවන මුදල. හරියට ෆිල්ම් ටිකට් එකක් ගන්නවා වගේ. ඒ ඇරෙන්න රට යවන්න සහ අනෙකුත් දේවල් වලට වියදම් කරන්නේ අපේ බදු මුදල් නෙවෙයි. SLC ආයතනයේ මුදල්. ඒවා ඒ අය හම්බකරගන්නේ ටෙලි විකාශන අයිතීන් විකුනලා, දැන්වීම් වලින් සහ ටිකට් පත් වෙලඳාමෙන්!

      Delete
  13. වැදගත් පැහැදිලි කිරීමක්

    ReplyDelete
  14. එකගවනවා හැර කියන්න යමක් නෑ. ඒත් මේරටේ ජනමාධ්‍ය කලාව බිස්නස් එකක් මාකට් කරන්න පුලුවන් හැම දෙයක්ම මාකට් කරනවා. ක්‍රිකට් මගේ ඒතරම් ප්‍රිය විෂයක් නොවේ. ඒ නිසා ඒතරම් උනන්දුවක් නෑ.

    ReplyDelete
  15. ප්‍රශ්ණයක් තියෙන බව දන්නවා උනාට ඒකෙ ඇතුළු පැත්ත ගැන හරි අවබෝධයක් තිබ්බෙ නෑ සාබිත්... ඒ නිසා ගොඩාක්ම ස්තුතියි මේ ලිපියට...

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...