Friday, November 4, 2016

SLTJ සහ මුස්ලිම් විවාහ නීතිය - මුස්ලිම්වරුන් සැබැවින්ම නිහඬද?

නිමිත්ත : SLTJ සහ මුස්ලිම් විවාහ නීතිය

ඊයේ දිනයේ ශ්‍රී ලංකා තවුහීද් ජමාත් නැමැති සංවිධානය(SLTJ)  පවත්වන්නට යෙදුනු විරෝධතා ව්‍යාපාරයක් නිසා විශාල කතිකාවතක් ඇතිවී තිබේ. මේ ගන්නට යෙදුනු ක්‍රියාමාර්ගය අනවශ්‍ය එකක් හා අනවශ්‍යය ප්‍රශ්න ඇතිකරන්නක් බවයි මැදහත් මුස්ලිම්වරුන්ගේ මතය.

මහ නාහිමිවරුන් අදාල නිකායන් නියෝජනය කරන්නේ යම්සේද ,අගරදගුරුතුමා කතෝලික ප්‍රජාව නියෝජනය කරන්නේ යම්සේද, ACJU ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ නිල නියෝජනය ලෙස සලකනු ලබයි.
බොදුබල සේනාව, රාවණා බලය වැනි සංවිධාන සුවහසක් මැදහත් බෞද්ධයන් නියෝජනය නොකරන්නා සේම මෙකී අන්තවාදී ඉස්ලාමීය සංවිධානවල මතය අපගේ මැදහත් මුස්ලිම්වරුන්ගේ මතය නොවේ. ඔවුනගේ අදහස් බොහොමයක් සමග අපට ගනුදෙනුවක් නැත.



ශ්‍රී ලාංකීය ඉස්ලාමීය විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කලයුතු බවට මුලින්ම කතිකාවතක් ගොඩනගන්නේ ඉස්ලාමීය සමාජයම බැව් මා පැවසුවහොත් ඔබ ඇතැම්විට පුදුමවනවා ඇති. ඉස්ලාමීය විද්වතුන් හා සිවිල් සංවිධාන විසින් සිදුකල සමීක්ශන හා දත්ත රැස්කිරීම්වලින් අනතුරුව සංශෝධනයක ඇති අවශ්‍යතාව විශේෂයෙන් විවාහ වීමට අවම වයස් සීමවක් පැනවීම ගැන අවදානය යොමුවී තිබුනා. එහි ප්‍රතිපලයක් ලෙස 2009 වසරේදී හිටපු ශ්‍රේෂ්ඨාධිකරණවිනිසුරු සලීම් මර්සූක් මහතාගේ ප්‍රදානත්වයෙන් කමිටුවක් පත්කොට තිබුනා. මෙකී කමිටුව පුරා වසර 7 කට කාලයක් සිවිල් හා ඉස්ලාමීය කාන්තා සංවිදාන හා ඉස්ලාමීය විද්වතුන් හමුවී කරුනු එක් රැස්කොට වාර්තාවක් පිලියෙල කොට අවසන් කෙරෙමින් පවතින බවත් එය ඉක්මනින් අධිකරණ ඇමතිවරයාට ලබාදෙන බව එම කමිටුව පසුගිය ජුලි 19 වැනිදා රැස්වූ අවස්ථාවේ මාධ්‍යට පවසා තිබුනා.
(ද නේෂන් පුවත් පත පලකල වාර්තාව)

තත්ත්වය මෙසේ තිබියදී සහ තිරය පසුපස බොහෝ දෑ සිදුවෙමින් තිබියදී ශ්‍රී ලංකා රජය GSP සහන නැවත ලබා ගැනීමට යුරොපීය සංවිධානය සමග සාකච්ඡා සහ කේවල් කිරීම් අරඹනවා. එහිදී ඔවුන්ගේ ඉල්ලීම් අතර එක ඉල්ලීමක් ලංකාවේ පවතින මුස්ලිම් නීතිය වෙනස් කිරීම හා ඍජුව සම්බන්ධව වෙනවා. මෙය සාගල රත්නායක විසින් පාර්ලිමේන්තුවේදී අනාවරණය කිරීම හමුවේ තමයි මේ ඊනියා සංවිධානවල කුලප්පුවීම සිදුවන්නේ. මේ කටයුතු හා සංශෝධන ඉක්මන් කිරීමට වර්තමානය වනවිට අධිකරණ ඇමැති වරයාගේ සභාපතිත්වයෙන් සහ සියලුම මුස්ලිම් අමැතිවරුන්ගේ සාමාජිකත්වයෙන් කමිටුවක් ස්ථාපිත කොට තිබෙනවා.( සහන ලබාදෙන මුවාවෙන් රටවල්වල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට ඔවුනට ඇති අයිතිය වෙනම සාකච්ඡා කලයුත්තක්.)

කරුණු කාරනා මෙසේ තිබියදීයි ජමාත් සංවිධානය පාරට බහින්නට තීරණය කරන්නේ.  ප්‍රශ්නයක් තිබේ නම් කලයුත්තේ මේසයක වාඩිවී කරුනු කාරනා සාකච්ඡා කර පිලියම් සෙවීම විනා පාරට බැසීම නොවේ.
යම්තම් සහජීවනය/සංහිදියාව ඔලුව ඔසවන මෙවන් වකවානුවක මෙවැනි අනවශ්‍ය ක්‍රීයාමාර්ග වලින් වෙන්නේ අනික් පැත්තෙන් ක්‍රියාත්මක වෙන අන්තවාදී සංවිධානවලට උඩගෙඩිදීමක් වගේම ඔවුන්ට මුස්ලිම්වරුන්ට එරෙහිව පාරට බැසීමට අවශ්‍ය කරුණු කාරනා සැපයීමක්. අනෙක් අතට මුස්ලිම්වරුන්ට ආදරය කරන ඔවුන් හා දිනපතා උරෙනුර ගැටෙන මැදහත් බෞද්ධ ප්‍රජාව අප වෙතින් ඈත්කර දැමීමක්.

තිරය පසුපස බොහෝ දෑ සිදුකරමින් තිබියදී  සහ මුස්ලිම්වරුන්ගේ නිල නියෝජනය පවා මේ ගැන ධනාත්මක ප්‍රතිචාර ලබාදී තිබියදී මුස්ලිම් සමාජය මේ සම්බන්ධයෙන් නිශ්ශබ්ද බැව් සහ ව්‍යංගයෙන් මේ නීති වෙනස් කිරීමට විරුද්ධ බව පවසමින් ගෙනයන ෆේස්බුක් ප්‍රචාරවලට හසු නොවීම වැදගත්.

වැඩිදුර කියවීමට - සන්ඩේ ලීඩර් සවිස්තරාත්මක ලිපිය.

ප.ලි : වසර කිහිපයකට පසුවයි බ්ලොග් ලිපියක් ලියැවෙන්නේ. හුදෙක් දැනුවත් කිරීම සඳහා ලියූ අතර කොමෙන්ට් මගින් ඇතිවන සංවාදවලට පිලිතුරු දීමට නොහැකිවනු අතර ඒ පිලිබඳව කණගාටුව.

6 comments:

  1. මතවාද, ප්‍රවෘත්ති, වැහි වහින කාලයක්. ඇහෙන දකින දේවල් කල්පනාවෙන් තේරුම් ගන්න ඕනෙ කාලයක්. නිහඬව නොඉද අදහස් පල කිරීම වටිනවා.
    අවුරුදු ගානකින් හරි දකින්න ලැබුන එකට සතුටුයි.

    ReplyDelete
  2. මේ කාරණාව ගැන කතා කරන්න නම් නෙවෙයි ආවේ. උඹව දැකීමත් සතු‍ටුයි කියන්න ආයෙම.

    ReplyDelete
  3. සබිත්ව දැකීමට ලැබුන එක සතුටක්.
    මට හිතාගන්න බැරි 2016 වෙනකොටත් මේ වගේ දේවල් ගැන කතා කරන්න වෙන එකත් විහිළුවක් නොවී තියෙන්නේ කොහොමද කියලයි. අපි මේ තරමටම පිරිහිලාද?
    ළමා විවාහ ගැන ඇත්තම මුස්ලිමුන්ට අවශ්‍යතාවයක් තියෙනවද කියලා නොහිතෙන්නේ මට විතරද මන්දා?
    සබීත්ගේ හඬ අවදිකිරීම ගැන බොහෝම සතුටුයි. ම්ලේඡ්ඡ ජාතියක් රටක් මිනිසුන් නොවෙන්න අපිට බැරි වෙන එකක් නෑ.

    ReplyDelete
  4. ලිපිය පැත්තකටම දාපංකො . . . සන්තෝසයි උඹව දකින්න ලැබුනට

    ReplyDelete
  5. අඩෝ මල්ලී
    උඹ කොහේද බන් දැන්?
    මූනු පොතේ හෙව්වා හම්බ උනේ නෑ බන් උබේ නම තියෙන උන් ලොට් එකක් ඉන්නෝ.

    ReplyDelete
  6. It also has a seven meter long flag pole that is the most remarkable feature of the place. Many tourists and travelers have visited the place and were very mush astound with its remarkable and delightful Watch Latest News At Gossiplankaupdates.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...