Friday, June 15, 2012

චේ!

      අද කාලෙකට පස්සෙ සෑහෙන්න හොඳ ලිපි දෙකක් කියවන්න හම්බුනා.පහුගිය දවස් දෙක තුනේ හරි හැටි හිතට දැනෙන දෙයක් කියවන්න නැති කම හින්දම වෙන්න ඇති මොකක් හරි ලොකු අඩුවක් වගේ දෙයකින් මගේ හිත වෙලිලා තිබුනේ! ඒකට සාංකාව කියල කිව්වත් වැරදි නැහැ..

     අද සාතන්ගේ රටේ සිට ලියමි කියලා අඩවියක් අහම්බෙන් කියවන්න හම්බ උනා.(මෙතනින්)
එතන තිබුන සමහරි ලිපි වල තිබුන සමහර අදහස් එක්ක ආකල්පමය හා දේශ්පාලනිකව එකඟ  වෙන්න නොහැකි උනත් සමහර අදහස් මගේ හිතට තදින්ම කා වැදුනා.ඒ වගේම වෙබ් ආලෝචනා අඩවියේ ආනන්දවර්ධන මහත්තයා ලියලා තිබුන ලිපිය සයිබරය ගැන ලිපියත් බ්ලොග් අවකාශයේ සියලු දෙනා කියවිය යුතු ලිපියක් ලෙස මං දකිනවා.(මෙතනින්)
මේ ලිපි දෙකට මං සමහරක් දේවල් ගැන හිතං හිටපු විදිය වෙනස් කරන්න සමත් උනා..කෙනෙක්ගේ එක ලිපියකට තවත් කෙනෙකුගේ පරිකල්පන හැකියාව ආමන්ත්‍රනය කරන්න පුලුවන් වෙනවා කියන්නේ ඒ ලිපිය අතිසාර්ථකයි කියන එක.ඒ හැකියාව එසේ මෙසේ දෙයක් නෙවෙයි!
එතනදි මගේ හිත තදින්ම නැවතුනේ ඔස්කාර් වයිල්ඩ් කිව්වයි කියලා කියන මේ ප්‍රකාශයේ!
“It is a very sad thing that nowadays there is so little useless information.” 
මෙතනදි මගේ හිතට ගිය අදහස තමයි 'ඕන දේ' සහ 'එපා දේ' දෙකම තැනක තියෙන්න ඕන කියන එක..
ඇත්ත....
'එපා දේ' තිබුනම තමයි එතනින් 'ඕන දේ' තෝර ගන්න පුලුවන් වෙන්නේ.
'ඕන දේ'ට වටිනාකමක් තියෙන්නේ එතන 'එපාදේ'ත් තිබුනම තමයි...
'එපා දේ' නැති උනාම අපිට ඕන මොකක්ද කියන එක අපිටත් ප්‍රශ්නයක් වෙනවා..
මගෙ පුද්ගලික අදහස උනේ බ්ලොග් අඩවියක් තුලින් ගන්නට හැකි යමක් ලියවිය යුතුයි කියන එක..
මගේ බ්ලොගය තුල ඒ දේ ඒ විදිහට වෙන්න මං වග බලා ගත්තා...
ඒ නිසාම වෙන්න ඇති සමහර දාට මට ලියන්න දෙයක් නැති වෙන්නෙත්..
එය එසේ නොවිය යුතුද කියලා හරියට තීරණයකට එන්න මට තවම බැහැ!

හැබැයි එක එකාගේ ආතල් විවිධාකාර බවත් උගේ ආතල් ඌට ආතල් බව හා මගේ ආතල් මට ආතල් බවත්.. 
මගේ ආතල් එක උගේ ආතල් එක වෙන්න ඕන නැති බව හා උගේ ආතල් එක මගේ ආතල් එක විය නොයුතු බවත් මං තේරුම් ගත්තා.
ඌට උගේ ආතල් එක ගන්න දීලා මං මගේ ආතල් එක තෝරා බේරාගෙන සප්ලයි කරගත්තම වැඩේ අහවර බව බ්ලොග් ලියන කියවන සියලු දෙනා තේරුම් ගත යුතු විශ්වීය සත්‍යක්..

මට අද ලියන්න ඕන උනේ චේ ගුවේරා ගැන...
ඊයේ ඒ මනුස්සයගේ උපන්දිනේ..
මං හිතුවා වීප්ලවීය වෙනසක් උදෙසා වැඩකරන පිරිස් සූ ගාලා ඉන්න රටක,
චේ ගුවේරලව පිටේ ගහං ෆැශන් කරන තරුණ පරම්පරාවක් ඉන්න රටක පරාර්ථකාමීත්වයේ අසීමාන්තික සීමාවෙනුත් ඔබ්බට තමන්ගේ ජීවිතේ අරං ගිය මේ මනුස්සය ගැන මොනව හරි කොහේ හරි ලියවිලා ඇති කියලා..

     චාමික කොලුවගේ සරල ලිපියක් මං දැක්කා..ඒ ඇරෙන්න ලොකුවට මුකුත් ලියවිලා තිබුනේ නෑ!
මං කියන්නේ  නෑ ඒ මනුස්සයගේ හැම උපන්දිනේකටම මිනිහා ගැන ලියවෙන්න ඕන කියලා..සමාජවාදියෙක් විදිහට ඒ මනුස්සය උනත් ඒකට අකමැති වෙන්න තිබ්බා..
හැබැයි ඕන තරම් කාලකන්නි ගැන උන් මැරිලා මැරිච්ච තැන ගසුත් පැලවෙලා ඒවත් මැරිලා එතනත් ගසුත් පැලවෙලා ඒවත් මැරුනට පස්සෙත් තාම ලියවෙන එකේ මේ වගේ මනුස්සයෙක් මෙච්චර ඉක්මනට අමතකවෙන/කරන එක යුක්තිසහගත නෑ!

     අද ත්‍රිමාන අඩවියේ පොඩි නෝට් එකක් තිබුනා..එතනදි මතු කරලා තිබුන අදහස් එක්ක 100%ක් මං එකඟයි!
එතනදි කියවිලා තිබුනා 'චේ' රොමැන්ටික් මනුස්සයෙක් නෙවෙයි කියන එක..
අද මං කියවන හුඟක් තැන් වල චේව හඳුන්වන්නේ "ආදරණිය චේ" කියලා...
ඒ මනුස්සය සැබෑ විප්ලවවාදියෙක්..සමාජවාදියෙක්...
වාණිජකරනය වු සමාජයේ වාණිජකරණය නොවූ දෙයක් හොයාගන්න අමාරුයි..
මිනිස්සු කියන්න පුලුවන් "නැහැ.. ඊට වඩා දේශපාලනීකරනය පිලිලයක් වෙලා ඉවරයි" කියලා..
 දේශපාලනීකරනය නොවූ දෙයක් හොයා ගන්න එක ඊට වඩා අමාරුයි කියලා.
හැබැයි ඇත්ත ඒක නෙවෙයි.දේශපාලනීකරනයට වඩා වාණිජකරනය පිලිකාවක්..
කොටින්ම දෙශපාලනයත් වානීජකරනය වෙලා...නැද්ද?

චේටත් උනේ ඒක..

කාලයක් විප්ලවයේ සංකේතය වෙලා,සමාජවාදයේ සංකේතයක් වෙලා පස්සෙ ආදරයේ සංකේතය වෙලා, ෆැෂන් එකක් වෙලා,වෙච්ච නැති දෙයක් හොයා ගන්න අමාරුයි..
හැබැයි ඒ මනුස්සය කරපු කැපකිරීම් ඒ මනුස්සයගේ පරාර්ථකාමීත්වය ගැන ගොඩ දෙනෙක් දන්නේ නෑ..
ෆැශන් කරන උන් දන්නෙ නෑ! 
දැනගන්න මහන්සිවෙන්නෙත් නෑ!
හැබැයි දන්න කෙනෙක් මේ මනුස්සයට ආදරය කරන එක නවත්තන්නේ නෑ!
චේ කියන්නේ මෑත කාලයේ හිටපු 'හැබෑ ඩයල්'එකක්..
වචනේ පරිසමාප්තාරුතෙන්ම  කැරියෙක්!
පුලුවන් කෙනෙක් ඉන්නවනම් හොයාගෙන කියවන්න 'චේ' ගෙ ජිවීත කතාවේ සිංහල පරිවර්ථනයක්.
මිනිසුන්ට අසීමිතව ආදරය කරපු මිනිහෙක් ගැන දැන ගන්න එක වටිනවා..
සර්ව සම්පූර්ණ මිනිහෙක් නොවුනත් ඒකෙන් අපේ ජීවිත වලට ගන්න දේවල් තියනවා...

මගේ මිත්‍රයා ලුලිඳු ඊයෙ ලස්සන පාඨයක් එක්ක රූපයක් අමුනලා තිබුනා...
ඒ පාඨයට ටිකක් එකතු කරල මෙතන ලියලා දාලම ඉවර කරන්නම්!

අතීතයේ මියැදුනු වර්තමානය තුල ජීවත්වන්නාවූ අනාගත මිනිසාණනී...
නුඹට සුබ උපන්දිනයක්!!!

19 comments:

  1. ඇත්තෙන් ම නූතනයට වාණිජකරණය වූ චේ ගෙන් මිස විප්ලවකාරී චේ ගෙන් වැඩක් නැත. හේතුව වර්තමානය වේගයෙන් වාණිජකරණයට ලක්වීමයි, එහිදී හැඟීම් වලට ඉඩක් ඇත්තේ ම නැති තරම් ය.

    ReplyDelete
  2. මට මතකයි මම ගොඩක් පොඩි කාලේ චේගේ ජීවිත කතාව කියෝපු හැටි....

    ReplyDelete
  3. කව්රු උනත් මලාට පස්සේ තමා වටින්නේ.

    ReplyDelete
  4. සදාදර චේ.... ඔය වගේ නමක් තියෙන පොතක් කියෙවුවා මතකයි..

    ReplyDelete
  5. සාබිත්ගෙ Twitter account එක හැක් වෙලා වගේ..
    මට ස්පෑම් එනවා ඒකෙන්..
    පොඩ්ඩක් හොයලා බලන්න....

    ඇල්කෙමියා

    ReplyDelete
  6. චේ ගැන මමත් බොහෝ කියවලා තියනවා. නමුත් මට හිතෙන්නේ ලංකාවේ සිංහල පාඨකයන්ට එතුමා ගැන හරි චිත්‍රයක් ලැබුනේ නැහැ. මෙහේ ඉන්නවනේ එතුමාගේ අයිතිකාර පොල්මඃකාරයෝ අන්න ඒ නිසා.

    ReplyDelete
  7. දැන් කාලේ චේ කියන්නේ ටී ෂර්ට් එකකට ස්ටිකර් එකකට සීමා වුණු මනුස්සයෙක් :(

    ReplyDelete
  8. හසිත කියව්වෙත් මම හිතාගෙන ඉන්න දේ. ත්‍රිවීල් කාරයෝ වුනත් බොරුවට චේව ගහගෙන ඉන්නවා. ඒක විනෝදයක් වෙලා. හරියට ඒ දර්ශනය ගෙනියන එකෙක් නැහැ.

    චේව ගාවගෙන කැම්පස්වල තියෙන්නෙත් බොරු ඇඩ් එකක්.

    ReplyDelete
  9. වෙනස් චින්තනයක් තුලින් අලුත් ඉසව්වක් සොයා ගිය චේ අහෝ අද කඩ පිලක විකිනෙන අන්දම ...........

    ReplyDelete
  10. චේ තුළ තිබුනේ ඉතාමත් දාර්ශනික දේශපාලන මතයක්. ඔහු දැරූ මතය තුළ ලෝකයට "චේ " ආදරණීය මිනිසෙක් වුණා. ඒත් අපේ රටේත් ආරම්භයේ ඒ දේශපාලන මතය හොඳින් වැඩුනා. චේගේ දේශපාලන මතය තුළට අලුත්මත ඇවිත් චේ යට ගියා.
    මේ වෙනකොට චේ කියන්නේ අපේ අයට ටීෂර්ටයේ, කැප් එකේ, එහෙමත් නැත්නම් ටැටූ එකක තියෙන මෝස්තරයක් විතරයි.ඒ නම පවා වාණිජකරණය වෙලා. මෝස්තරයක් වෙලා. අලවි කල හැකි භාණ්ඩයක් වෙලා. කණගාටුව ඒකයි.

    ReplyDelete
  11. ස්තුතියි හැමෝගෙම අදහස් වලට!
    ඇල්කේමියා : ස්තුතියි දැනුම්දීමට..මොකක් හරි අවුලක් ගිහින් තියනවා.. :)

    ReplyDelete
  12. සමාජවාදයේ ප්‍රතිරූපය පවා ධනවාදීකරන්න තරං ධනවාදය ප්‍රභලද? නැත්තං සමාජවාදය ඒකට ඉඩ දෙන්ඩ තරං දුර්වලද?

    ReplyDelete
  13. චේට වෙච්ච දේ තමයි අද බොබ් මාලෙටත් වෙලා තියෙන්නෙ. අපේ උදවිය එයාගෙන් ගන්නෙ ගංජ ගැහිල්ල විතරයි.

    ReplyDelete
  14. මම චේ ගුවේරා ගැන පොත් නම් කියවලා නෑ. නමුත් ලිපි කියවලා තියෙනවා. එක කාලයක් ජවිපෙ ක්‍රියාකාරීන්ව ගමේ ගොඩේ මිනිස්සු හැඳින්නුවෙ චේ ගුවේරා කාරයො කියලා. ඊට පස්සෙ කාලයක් ආවා චේ ගුවේරා විතරක් නෙවෙයි, ලෙනින්, කාල් මාක්ස් විතරකුත් නෙවෙයි සෝවියට් දේශය සඟරාවක් වත් ගෙදරක තියාගන්න එක මරණ වරෙන්තුවක් වුනු. අද චේ ත්‍රී වීල් වල, ටී ෂර්ට් වල, කැප් වල ඉන්න එකත් සැබෑ වෙනසක්.

    කොහොමත් මම මොන ආකාරයේවත් දේශපාලනය ප්‍රියකරන්නෙ නෑ.

    henryblogwalker the Dude

    ReplyDelete
  15. දිනුක : එතනදි මං හිතන්නේ ධනවාදයේ ප්‍රභලබවට වැඩිය සමාජවාදයේ දුර්වලතාවය..සමාජවාදය ගැන හරි දැනුමක් නොමැතිකම.එහෙම දන්න පිරිසක් ඉන්නවා නම් මේ තියන ගොඩක් ප්‍රශ්න වලට විසඳුම ඒක කියලා එයාලා තේරුම් ගන්නවා..ධනවාදය ප්‍රතික්ෂේප කරනවා! ප්‍රංශයේ වාමාංශික රජයක් බිහිකරගෙන පටන් ගත්තේ සමහර විට ඒ වෙඩි මුරයේ පලවෙනි වෙඩිල්ල වෙන්න පුලුවන්!

    රාජ් : ඇත්ත.තාපේ මිනිස්සු කවදත් දක්ෂ නොගතයුතු දේ ගන්න නේ..සත්සර විප්ලවවාදියා කියලා මාලේගෙ ජීවිත කතාවේ පරිවර්තනයක් තියනවා..බොහොම ලස්සනට එයාගේ ජීවිත කතාව විස්තර වෙලා තියනවා ඒකෙ.

    ඩූඩ් : මොනම ආකාරයේ දේශපාලනයක් වත් ප්‍රිය නොකිරීමත් එක්තරා දේශපාලනයක් :)

    ReplyDelete
  16. //එහෙම දන්න පිරිසක් ඉන්නවා නම්// එහෙම දන්න පිරිසක් නැත්තෙ එහෙම දැනගන්න දෙයක් නැති නිසා කියල හිතෙන්නෙ නැද්ද?

    චේ ගැන ලියද්දී ඔහුගේ අභිප්‍රායන්, අදහස් ඉතා වැදගත් වූ බවින් පටන් ගැනීමෙන් වටිනා සංවාදයකට යන්න උත්සාහයක් කරලා තියෙනවා. ඒත් ඒ අදහස් වලින් සටන පටන් ගත් ඒත් සටන ඉවර වෙද්දි හිටපු චේ නැමති පුද්ගලයා ගැන සෙව්වා බැලුවා නම් ඔයිට වඩා අදහස් වෙනස් වෙනවා.

    ReplyDelete
  17. arunishapiro : ඔබ තුමිය මගේ ලිපි කියවනවා යැයි දැනගැනීමම මට සතුටක්! ඔබේ ලිපියත් කියෙව්වා! ලෝක දේශපාලනය ගැන මගේ දැනුම ඒ තරම් යාවත්කාලීන නෑ! ඒ නිසා සංවාදයකට යන්න තරම් කරුණු මා ගාව නෑ! ඔබ තුමියට පුලුවන් නම් ප්‍රංශ වාමාංශික දේශපාලනයේ නව මුහුනුවර ගැන සරලව ලියන්න වැරදි මත වල සිටින බොහෝ දෙනෙකුට ඒක ප්‍රයෝජනවත් වේවි!

    ReplyDelete
  18. Sabith,

    අපොයි සබිත් මල්ලි මට ඔබතුමිය කියන්නෙ නැතිව අක්කා බැරි නම් ඇන්ටි හරි එහෙමත් බැරිනම් ආච්චි කිව්වොත් ඒත් හොඳයි. :)

    ප්‍රංශ වාමාංශික දේශපාලනයේ නව මුහුණුවර ගැන ලියන්නම් ඉක්මණින් ම. වැරදි මත වල ඉන්න අයව වෙනස් කරන්න බැහැ. ඒත් මතයක් අල්ලා ගත්තෙ නැති අයට තමන් කැමති පැත්තක් වැඩිය හොඳින් අල්ලා ගන්නට මම ලියන ඒවා ප්‍රයෝජනවත් වේවි!!!

    ReplyDelete
  19. තැන්කූ ඈ ඔත්තුවට . . වෙබ් අලෝචනා නම් මම නිතරම කියවන බ්ලොග් එකක්

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...