Saturday, October 6, 2012

මිස්ලා සර්ලා වෙත ලියමි..

ලෝක ගුරු දිනය අද,ඒ කියන්නේ ඔක්තොම්බර් 5 වෙනිදට යෙදිලා තියෙනවා..
දෙයක්/කෙනෙක් සමරන්න එක දිනක් වෙන්කරන එක මං පෞද්ගලිකව අනුමත නොකලත් 'එහෙමවත් දිනක් නොතිබුනා නම් මෙහෙම වත් තියේද?' කියලා නොහිතෙනවාම නෙවෙයි.අඩුගානෙ ඉස්කෝලෙ ළමයි තමන්ගේ මිස්ට සර්ට දනගහලා වඳින එකවත් එදාට වෙනවා ඇතිනේ!

ගුරු දිනයක් වෙනුවෙන් මං ටික කාලෙකට කලින් ලියපු නිදහස් පද පෙලක් තියෙනවා වැඩි දෙනෙක් නොකියවපු.අර අගමැතිලා ජනපතිලා කරනවා වගේ එකම දවසට අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් කතාවක් මාරුවෙන් මාරුවට පලකරනවා වෙනුවට කාලෙකින් මොනවත් ලියපු නැති නිසාත් අලුතෙන් බ්ලොග් ලියන කියවන සෑහෙන පිරිසක් ඉන්න නිසාත්  මං තීරණය කලා වැඩි දෙනෙක් නොකියවපු ඒ ලිපිය බෙදාගන්න..


බස් රේඩියෝවෙ සම්මාන උළෙලෙදි මගේ පුංචි බ්ලොග් එකත් නිර්දේශිත නාමයන් අතර තිබුනා..
ලොකු Viewer base එකක් නැති මට දිනන එක ගැන කොහෙත්ම අදහසක් තිබුනේ නැති උනත් බ්ලොග් ලියන අපි වෙනුවෙන් මොකක්හරි කරන්න මහන්සිවෙන අයට කරන ගරුකිරීමක්/දිරිදීමක් විදිහටයි මාත් මගෙ බ්ලොග් එක ඇතුල් කලේ.විනිශ්චය මණ්ඩලයක් අතින් මේ වගේ නිල ඇගයීමක් හම්බවුන පලවෙනි අවස්ථාව..බස් රේඩියෝවෙ අයත් අඩුපාඩු හදාගෙන වඩා සංවිධානාත්මකව  ඉස්සරහටත් මේ වැඩේ කරගෙන යයි කියලා බලාපොර්තුවෙනවා..ස්තුතියි හැම දෙනාටම!

Thursday, September 6, 2012

ලාංකීය සමාජ ජාලා වෙබ් අඩවි පරිශීලනයේ පරිණාමය Social media in Sri Lanka

   
     TweetupSL ලිපියට ලැබුන ප්‍රතිචාර එක්ක මට හිතුන ශ්‍රී ලාංකිය සමාජ ජාලා වෙබ් අඩවි භාවිතයේ විකසනය එහෙම නැත්නම් පරිණාමය ගැන සටහනක් තියන්න.මෙතෙක් මං සිංහල බ්ලොග් අවකාශයේ මේ වගේ ලිපියක් දැක්කේ නෑ!
මං කලින් ලිපියේ සඳහන් කලා වගේ ශ්‍රී ලාංකාවේ අන්තර්ජාල භාවිතය මිනිසුන් අතරට යන්නෙත් සැලකිය යුතු අන්දමට වැඩිවීමට පටන් ගන්නෙත් 2004-2005 කාලයේදි.වඩා පැහැදිලිව කියනවා නම් 2005න් පස්සේ.මේ විදිහට අන්තර්ජාලය මිනිසුන් අතරට යාමත් එක්ක අන්තර්ජාලය එලදායීව භාවිතා කරන්නට විශේෂයෙන් නව යොවුන් පරපුර පෙලඹෙනවා.

මේ විදිහට අන්තර්ජාලය තමන්ගේ විනෝදාස්වාදය සදහා යොදා ගැනීමේ අවශ්‍යතාවයත් එක්ක ඒ අවශ්‍යතාවය සපුරාලන්න තමයි Social media කියන සංකල්පය බිහිවෙන්නේ.
Social media කියන වචනය කොටස් 6ක සංකලනයක්.. ඒ වචනය අනු කොටස් 6කට විභේදනය කරන්න පුලුවන්!
     ඒ ඔස්සේ තමයි Social forum සහ Social Networking ලෙස කොටස් දෙකකට බෙදිලා social medias ලංකාව තුල ව්‍යාප්ත වෙන්න පටන් ගන්නේ!
(ඉතිරි අනුකොටස් වන්නේ collaborative projects (ex: Wikipedia), blogs and microblogs (Ex: Twitter), content communities (Ex:You tube), virtual game worlds සහ virtual social worlds )

     මුලදී Social Forums කියන සංකල්පය ඉතා තදින් ලාංකීය අන්තර්ජාල පරිශීලකයා වැලඳ ගන්නවා.කපුටා.com,අනං මනං,එලකිරි,සිංහලයා එලෙස ජනප්‍රිය වුන අඩවි වලින් කිහිපයක්. අදටත් ඇතැම් අඩවි ඉතා සක්‍රීය මට්ටමක පැවතෙනවා.එහි තිබුනු/තිබෙන චැට් රූම්,නොමිලේ ලබා දෙන විද්‍යූත් ලිපින,සමාජීය සංවාද වගේම පසු කලෙක නොමිලේ භාගත කිරීම් වගේ පහසුකම් මෙලෙස පරිශීලකයන් ඒවා වෙත ඇද බැද තබා ගන්න සමත් උනා..

     මේ විදිහට කල්ගත්වෙනවත් එක්කම social networking කියන සංකල්පය වෙත මිනිසුන් ආකර්ෂනය වෙන්න පටන් ගන්නවා. Myspace,tagged වැනි සමාජ වෙබ් අඩවි තුලට ලාංකිකයන් හුදකලා වශයෙන් සම්බන්ධවෙලා සිටියත් කණ්ඩායමක් විදිහට ඒකරාශී වෙන්න පටන් ගන්නේ hi5 වටා!

Sunday, September 2, 2012

#TweetupSL 3 #ට්වීට් අප් SL

    
 සමාජ ජාල වෙබ් අඩවි එහම නැත්නම් Social Media කියන වචනය දැන් අපේ කන් වලට් නුහුරු එකක් නෙවෙයි..හරියට ඉස්සර 'බෝම්බය' කියන වචනේ කිසිම නුහුරක් අපිට තිබුනේ නෑ වගේ!
මේ සමාජ ජාල වෙබ් අඩවි ලංකාවේ ප්‍රචලිත වෙන්න පටන් ගන්නේ 2003-2004 අවධියේදි.ඒ දවස් වල ලංකාවේ නව යොවුන් පරම්පරාව අන්තර්ජාල භාවිතාව හුරුවෙන්න පටන් ගත්ත අවධිය මං හිතන්නේ.
මේ එක්ක අන්තර්ජාලය තුල කරන්න යමක් සොය සොය සිටි පිරිසට තමයි hi5 කියන සමාජ වෙබ් අඩවිය හම්බ වෙන්නේ.ඒ අඩවියේ තිබුන දත්ත වල විවෘත භාවය සහ ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න වලට සාර්ථක විසදුම් එක්ක facebook සමාජ අඩවියේ ආගමනය සිද්දවෙනවා.ඒ නිසාම ගොඩක් දෙනා fb වටා රොක් වෙනවා.

     අද වෙනකොට ලංකාවේ මිලියනයක් පමන දෙනා facebook භාවිතා කරන බව නිල නොවෙන දත්ත වලින් පෙන්නනවා.(http://www.socialbakers.com/facebook-statistics/)ඉස්සර time line එක විවෘත උනාම අපේ සමීපතමයන්ගේ පිංතූර හා ස්ටෙටස් කිසිම අපහසුවකින් තොරව අපි රසවින්දා.ඒත් අද අරවතු,මේවතු,අර රූම් මේ රූම් වලින් ශෙයා වෙන පිංතුර වලින් පිරිලා.ඒවා දැක්කම වෙලාවකට කේන්තියි.වෙලාවකට අප්පිරියයි..ගෲප් එකක් විදිහට ඒවා බ්ලොක් කලත් විවිධ මිතුරන් මේවා බෙදාගන්න එක නවත්තන එක කරන්න අමාරු වැඩක්.

     මේ නිසාම තමයි දැන් බොහෝ දෙනා Twitter වටා රොක් වෙන්න පටන් අරං තියෙන්නේ.fb එකෙ සමකාලිනයෙකු උනත් fb වටා තිබුන යෝධ ජන පවුරේ සෙවනැල්ලෙන් ට්වීටරේ වැහිලා තිබුනෙ.ඒත් දැන් කෙමෙන් කෙමෙන් ට්විටරය සක්‍රීය භාවිතා කරන ලාංකීය පිරිසේ වැඩි වීමක් දකින්න පුලුවන්.
twitter එක තුල තියෙන්නේ මයික්‍රො බ්ලොගින් සංකල්පය .වචන 140ක් තුල තමන්ගේ අදහස පලකරන පුද්ගලයන් අතර බැරක් ඔබාමාගේ සිට අමිතාබ් බච්චන් දක්වා වූ විවිධ ක්ශේත්‍රවල ජනප්‍රිය පුද්ගලයින් විශාල ගනනක් ඉන්නවා.

     මේ විදිහට ලංකාව තුල සිග්‍රයෙන් ජනප්‍රිය වෙන මේ සමාජ වෙබ් අඩවියේ ගෙට් එකක් එහෙම නැත්නම් සුහද හමුවක් සැප්තැම්බර් පලවෙනිදා මරදාන Warehouse Project හි පැවැත් උනා. Tweetup SL විදිහට නම් කරල තිබුන ගෙට් එක පැවැත්වුනේ තුන් වෙනි වතාවට. 2010 අවුරුද්දෙ පලවෙනියටම මේක පටං අරං තියෙන්නේ 100ක් පමන දෙනා සහභාගි කරගෙන. ගිය අවුරුද්දෙ ඩයලොග් ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ මේක පවත්වලා තියෙනවා.මේ අවුරුද්දේ ලංකාවේ ඉන්න නිසා මටත් මේකට සහභාගිවෙන්න පුලුවන් උනා. කලින් කිව්වා වගේ මරදාන වෙයාහවුස් එකේ තිබුන මේ හමුවට විවිධ වයස්වල විවිධ තරාතිරම්වල 800+ දෙනා තමන්ගේ සහභාගීත්වය ස්ථිර කරලා තිබුනා.
නමුත් කී දෙනෙක් ආවද කියලා මට හරියට තාම හොයලා බලන්න බැරි උනා.

      ඇතුල්විමත් සමග ටී ෂර්ට් එකක් සමරුවක් විදිහට හැමෝටම හම්බවෙනවා.ඒ එක්කම දෙන බැජ් එකක තමන්ගේ නම ලියලා කැමති අයට ක්ලිප් කරගන්න පුලුවන්.  ඒ විදිහට තමන්ගේ සයිබර් මිතුරන්ව හදුනා ගෙන කතා කරන්න අවස්ථාව එදා තිබුනා.සහභාගිවෙච්ච අයගේ ගීත,මැජික් දර්ශනයක්,තරඟ කීපයක් එක්ක ගලා ගිය සන්ධ්‍යාවෙ  කාගෙත් සිත ගත්තේ වෙයාහවුස් හි පොඩි නංගිලා මල්ලිලාගේ ඉදිරිපත් කරපු නැටුම් ගැයුම් දෙක තුනක්.

     ට්විටර්හි වෙසෙන පුද්ගලයන්ව Tweeps ලා විදිහට හැදින්වෙනවා.හරියට බ්ලොග් ලියන අය බ්ලොගර්ස්ලා වගේ.ඉතින් අපේ චන්දයෙන් වසරේ Mr. Tweep of the Year,Ms. Tweep of the Year,Funniest Tweep of the Year,Most Controversial Tweep of the Year  වගේ විවිධ කැටගරි වලින් ජයග්‍රාහකයින් තෝරලා එයාලට තෑගි දෙන්නත් සංවිධායක මණ්ඩලය කටයුතු කරලා තිබුනා.

     අලියා බීම සමාගම නොමිලේ බීම ලබා දෙන්නත් කොකෝවැරෙන්ඩා ආයතනය ආහාර පාන සඳහාත් අනුග්‍රහය දක්වා තිබුනා.ඊට අමතරව Dialog,Warehouse Project,China Doll Noodles,Xiteb (Pvt) Ltd,Virtusa,SLIM,Beautiful-U යන ආයතනත් අනුග්‍රහය දක්වා තිබුනා.
මාධ්‍ය අනුග්‍රහය DailyMirror පුවත්පතෙන් සහ E fm ගුවන් විදුලියෙන්.

මටත් එදා වැදගත් දවසක්..නමින් පමනක් දැන සිටි දැවැන්ත බ්ලොග් කරුවන් කිහිප දෙනෙක් පෞද්ගලිකව හම්බවෙන්නත් ඔවුන් එක්ක කතා කරන්නත් මේ පුංචි බ්ලොග්කරුවාට පුලුවන් කම ලැබුනා.
ඇතැමෙක් මං ගැන දැනං හිටියෙත් නෑ :)
එයාලව හම්බවෙලා කතා කරන්න ලැබීම ඇත්තටම සතුටක්..
ඉතින් සමස්තයක් වශයෙන් ඉතා හොඳ දවසක්..
ඒ වෙනුවෙන් (අපි වෙනුවෙන්) මහන්සිවෙලා මේ event එක සංවිධානය කරපු සංවිධායක මණ්ඩලේ කට්ටියට ස්තුතියි කියන්නත් මේක අවථාවක් කරගන්න ඕන!
ඉතින්...එපමනයි..
                                                                    මං @sabithl

පිංතූර බලන්න කැමති අයට සම්පූර්ණ ඇල්බමයක් තියෙනවා --------> මෙතන

Thursday, August 16, 2012

චංචලා...




නුඹයි මායි දැනං උන්නා ටික කාලෙක ඉඳන්,කවද කොහොම ඉඳන්ද කියන්න මතක නැති උනත්..
නුඹ ටික ටික මට කිට්ටු උනා..නුඹේ දුක මට කියන්න..
අපි විසඳුම් හෙව්වා උගෙන් ගැලවෙන්න..
ඒ කාලකන්ණියගෙන්...

කාලයත් එක්ක උඹ මට කැමැත්ත දුන්නා,ඉල්ලුවෙ නැති උනත්...
බොහොම සතුටින් උන්නා අපි,ටික කාලෙකුත් නොවෙන ගොඩකාලෙකුත් නොවෙන කාලෙකට..
ටික ටික මගෙන් නුඹ ඈතට යනවග දැනෙන්නට උනා..
ඉඳලා මං අහක බලනකං,මට හොරෙන් නුඹ කෙටියෙන් පණිවිඩ කොටන කොට
තේරුම් ගන්න අමාරු උනේ නැහැ මට,නුඹ තවකෙකු එක්ක විසදුම් හොයනව ඇති කියලා..
මගෙන් ගැලවෙන්න..

ඌ හිතන් ඉන්නව ඇත්තේ මං කාලකන්නියෙක් කියලා,මං හිතං ඉඳපු විදිහටම..
ඌ ඒ විදියටම හිතං ඉදීවී තව එකෙක් ඌ ගැන එහෙම හිතන දවස වෙනකම්ම...

වරද නුඹේ නෙවෙයි.. 
උගෙ...
මගෙ...

෴ සා බි ත්෴

Wednesday, July 25, 2012

අපි (නො)දන්න ඩීසන්සිය! da Decency we knw


යෙ කොන්ඩෙ කපන්න ගියා..
කාලෙකින් බාබර් සාප්පුවක් පැත්තෙ ගියේ..කොන්ඩෙ ටිකක් වැවිලා තිබ්බා..
හිතල වැව්වා නෙවෙයි....වැවෙන නිසා වැව්වා....කපන්න ඕක කමක් තිබ්බේ නෑ..අම්මා දවසක් දෙකක් කිව්වා..මං ඇහැව්වේ නෑ..ඉස්සර නම් සැර වැර කලාට දැන් එහෙම බැරි නිසා දෙපාරක් තුන් පාරක් කියලා නිකං ඉන්නවා..මොකද කියන දේ අහන්නේ නැහැ කියලා දැන ගත්තම තව කියන්න කියන්න වෙන්නේ එයාලා නෝන්ඩි වෙන එක කියලා එයාලා හිතන නිසා වෙන්න ඇති..

ඇයි කොන්ඩෙ කපන්න ඕන කියලා මං අම්මගෙන් ඇහුවා?
කොන්ඩේ කැපුවම පිලිවෙලයි,ඩීසන්ට්,මනුස්ස පාටයි,නැත්තම් රස්තියාදුකාරයෙක් වගේ.....ඕව තමයි හම්බඋන උත්තර..
මං ඇහුවා කවුද එහෙම කියන්නේ කියලා..
අම්ම කියනවා වැදගත් මිනිස්සු ඔක්කොම එහෙම තමයි ඉන්නෙ කියලා..

"උඹ කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න වැදගත් තැන්වල ඉන්න මිනිස්සු කොන්ඩ රැවුල් වවාගෙන ඉන්නවා දැකලා තියෙනවද ?"කියලා මගෙන් අහනවා..

"හරි ඔය කියන වැදගත්/ඩීසන්ට් උන් ඔක්කොම කොන්ඩෙ වවං ඉන්නවා කියලා හිතුවොත් එදාට නම් මං කොන්ඩෙ වවන එක ඩීසන්ට් වෙනවද? එදාට මං කොන්ඩෙ කපන්න ගත්තම මං ඩීසන්ට් නැතිවෙනවාද?" කියලා අම්මගෙන් මං ඇහුවා .හැමදේම සාපේක්ෂයි කියලා අම්මට මං තේරුම් කරන්න උතසහ කලා..
උඹත් එක්ක කතා කරලා දිනන්න බෑ කියලා අම්ම යන්න ගියා..
මං කොන්ඩෙ කැපුවා...

ඒත්...
මගේ සිතුවිලි ගැන මොකද කියන්නේ..?

Tuesday, July 10, 2012

හිරිවට්ටන දොස්තර! Medical Humour

     බස් රේඩියෝවේ උදවිය බ්ලොග් සතියක් විදිහට නම් කරලා තියෙන මේ සතියේ පෝස්ට් 7ක් පල කරන්න කියලා අපිට ආරාධනා කරලා තියනවා..! හැබැයි දවස් 7කට පෝස්ට් 7ක් දාන එක නම් මට කරන්න කොහොමත් බැරි වෙයි!මගේ අතින් මාසෙකට ලියවෙන්නෙත් පෝස්ට් 4ක් නැත්නම් 5යි...හැබැයි අපි වෙනුවෙන් යමක් කරන්න මහන්සිවෙන මේ අයට කරන ගරු කිරීමක් විදිහට මං පෝස්ට් 3ක් වත් දාන්න ට්‍රයි කරන්නම්! 8වෙනිදා දාපු 'සිත ඉල්ලන ෆැන්ටසිය' පලවෙනි එක කියලා සැලකුවාම අද ලියන්නේ දෙවෙනි එක!
අද පොඩි ජෝක්ස් එකක් බෙදා ගන්න හදන්නේ!
රංග අයියත් දාලා තිබුනා ඊයෙ දොස්තර කතාවක්..

මේකත් දොස්තර කතාවක්!

     වෛද්‍යවරුන්ට තිබ්බලු සම්මන්ත්‍රනයක්..සැලකිය යුතු තරම් පිරිසක් සහභාගිවෙලා හිටිය මේ සම්මන්ත්‍රනය දින තුනක එකක්ලු..ඔතන හිටියලු තරුණ වෛද්‍යවරු දෙන්නෙක්..දොස්තර නෝනා කෙනෙකුයි,දොස්තර මහත්තයෙකුයි..
   
     ඔන්න පලවෙනි දවසේ උදේ දෙන්න හිනා වෙලා පටන් ගත්තු වැඩේ දවල් වෙද්දි කතා කරන මට්ටමට ගෙනල්ලා හවස් වෙද්දි යාලු කමක් හදාගන්න තත්ත්වෙට ගේන්න දෙන්නට පුලුවන් උනාලු..
ඊ ගාව දවසේ යාලුකම,යාලුකමිනුත් ටිකක් ඔබ්බට අරං ගිහින් රෑට රෑ කෑමකට (ඩේට් එහෙකට) යන්න යොදාගන්න තරමටම දෙන්නා ලං උනාලු!
ඔන්න ඉතින් රෑට කාලා පොඩ්ඩක් සප්පායම් වෙලා කොහොමින් කොහොම හරි දෙන්නා නැවතිලා ඉන්න හෝටලේටත් ගිහින් ඇඳක් උඩ දෙන්නා සෙටල් උනාලු!
ඔතනින් එහාට ඉතින් වෙන්න ඕන දේවලුත් වෙලා,කරන්න ඕන දේවලුත් අහවර කරලා දෙන්නා ඇඳ උඩ දිගා වෙලා කතාවට වැටුනලු!

Sunday, July 8, 2012

සිත ඉල්ලන ෆැන්ටසිය! The fantasy I need


මට මගේ ගමේ ඉන්නවා මරු යාලුවෝ සෙට් එකක්!
උන් මට සාමාන්‍යයෙන් ඉන්න අනිත් උන්ගෙන් ටිකක් වෙනස්..ටිකක් කිව්වට හොඳටම වෙනස්!
මට මං ගැන මතකයක් තියන කාලෙ ඉඳන්ම මට උන්වත් මතකයි!
පොඩිම කාලේ ඉඳන් උන් එක්ක හැදී වැඩුනා..
ක්‍රිකට් ගැහුවා..වැස්ස කාලෙට ජිල් ගැහුවා..වතු පාලු කලා..පොඩි කාලෙ කරන්න ඕනෙ දේවල් ඔක්කොම වගේ කලා..

මං ගියේ ටිකක් ලොකු ඉස්කෝලෙකට...උන් ගියේ ගමේ ඉස්කෝලෙට!
උන්ට ඉගෙනීම ගැන ඒ හැටි වටිනාකමක් තිබුනේ නෑ.
සමහරවිට උන්ට ඉගෙන ගන්නවට වඩා කරන්න වැඩ තිබුනා..
ගොඩක් උන්ගෙ ඉස්කෝලෙ ගමන ඕලෙවල් වලින් ඉවරයක් උනා..කලාතුරකින් එකෙක් ඒ ලෙවල් කලා..මං ඇරෙන්න සයන්ස් කරපු එකෙක් නැතිම තරම්.නැහැ ඇත්තටම..
උන් ඊට පස්සේ ජොබ් කරන්න ගත්තා..ගොඩක් වෙලාවට කොළඹ කොහේ හරි කඩේක සේල්ස් මෑන් කෙනෙක් විදිහට..

උන්ට අවුරුදු 24ක් විතර වෙද්දි උන් තේරුම් ගනවා කඩේට වෙලා ඉඳලා ගැලවීමක් නැහැ කියලා..
රට පනින උන ඔලුවට ගහන්නේ ඔය කාලෙට තමයි!
ඒ කාලේ නම් යූ කේ පිස්සුව තමයි හැමෝටම තිබුනේ..
උන්ගෙන් සමහරුන්ට ඉංගිරීසියෙන් නමක් වත් ලියාගන්න බැහැ.
ඒත් උන්ගේ වාසනාවටද අවාසනාවටද මංදා ලංකාවේ තිබුනු මහකොමසාරිස් කාර්‍යාලය වැහුවා.ලංකාවේ ඉන්න අයගේ ඩොකියුමන්ට් යවන්න ඕන ඉන්දියාවට..එහෙන් ලියකියවිලි හදාරලා විසා දෙනවද නැද්ද කියලා තීරණය කරනවා..මුන්ට ඉන්ටර්විව් යන්න ඕන වුනේ නෑ..

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...