මුලින්ම මගේ කලින් ලිපි දෙක තුනට ප්‍රතිචාර දක්වපු අයට පිළිතුරු සපයන්න බැරි වුන එක ගැන සමාවෙන්න ඕන.ඔබේ වෙලාවෙන් ටිකක් මගේ ලිපියකට අදහස් දක්වන්න වැය කලාම එයට පිලිතුරු සපයන එක මගේ සදාචාරාත්මක යුතුකමක්.ඒත් පාඩම් වැඩ එක්ක නිතර ඒ දේවල් කරන්න අමාරුයි.ඒ නිසා ඉස්සරහටත් ගොඩක් වෙලාවට මට පිලිතුරු සපයන්න වෙන එකක් නෑ! අමනාප වෙන්නෙ නැති වෙයි කියලා හිතනවා..ඔබගේ ප්‍රතිචාර මට හැමදාමත් වැදගත්!
මං සාමන්‍යයෙන් පෝස්ට් එකක් අන්තිමට මට කියන්න තියන ටික කිව්වට අද උඩින්ම කියන්න තීරණය කලේ මේ වගේ ලිපියක් අන්තිම වෙනකම් බොහෝ දෙනෙක් කියවන්නේ නැති බව දන්න නිසා..
මේ ලිපිය මගේ මිත්‍රයා සනෝජ් ගේ ඉල්ලීම මත ලියවෙන ලිපියක්.
ප්‍රෙෂර්....
අපි එදිනෙදා ප්‍රෙෂර් කියලා හඳුන්වන්නේ අධික රුධිර පීඩනය කියන තත්ත්වය.ලෝකයේ බෝ නොවන රෝග අතරින් ඉහලින්ම තියන රෝගයක් තමා මේක.වසර 2000දි ලෝක වැඩිහිටි ජනගහනයෙන් සෑම 4 දෙනෙකුගෙන්ම එක් අයෙකුට මේ රෝග තත්ත්වය තියනවා කියලා ගනන් බලලා තියනවා..මේ ලෙඩේ ගැන පෝස්ට් දානවනම් බ්ලොග් එකක්ම ලියන්න වෙයි..ඒ නිසා මං වැදගත්ම හා සාමාන්‍ය පාඨකයෙක්ට තේරෙන විදිහට සාරාංශ ගත කරලයි මේක ලියන්නේ! මේ ගැන දන්න කෙනෙක්ට නම් කරුණු මදි වගේ හැඟෙන්න පුලුවන්.
මොකක්ද මේ රුධිර පීඩනය?
රුධිරය රුධිර නාලයක් තුලින් ගමන් කරද්දි ඒ නාලයේ(ධමනියේ හෝ ශිරාවේ) බිත්තියේ ඒකක වර්ගපලයක් මත ඇති කරන තෙරපුමට තමයි රුධිර පීඩනය කියන්නේ!
මේ තෙරපුම හෘදය මගින් පොම්ප කරන රුධිර ප්‍රමානය මත හා ඒවා නාල දිගේ ගලා යාමේදි ඇතිවන ප්‍රතිරෝධය මත රඳා පවතිනවා.
මේ තෙරපුම අසාමාන්‍ය ලෙස ඉහල ගියාම ඇතිවෙන තත්ත්වයට තමයි අපි අධික රුධිර පීඩනය එහෙම නැතිනම් ප්‍රෙෂර් කියලා කියන්නේ!
මේ පීඩනය අඩු වුනාම අවපීඩනයක් ඇතිවෙන්නත් පුලුවන්.(low pressure/Hypo tension) මේ අවපීඩනය අධික රුදීර පීඩනයට වඩා භයානකයි.

.jpg)





